උණුසුම් පුවත්

වසන්ත මුදලිගේ නිදහස් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කළ ප්‍රකාශය

Spread the love

සැකකාර වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනය තුළින් ඔහු ස්ථාන ගණනාවක රජයට එරෙහිව විරෝධතාවල නියැලෙමින් ප්‍රචණ්ඩ ක්‍රියා කර ඇති බවට තොරතුරු අධිකරණයට වාර්තා කර තිබෙනවා.එමෙන්ම මෙම විත්තිකරු විශාල මුදල් පරිහරණයක නිරත වූ බවටද සාක්ෂි සම්පිණ්ඩන වල සටහන් කර තියෙනවා.ත්‍රස්තවාදය වැලැක්වීමෙි පනත අත්තනෝමතික ලෙස භාවිතා කළ අවස්ථා අතීතය පිරික්සීමේදී පෙනී යනවා.
බොරු සාක්ෂි නිර්මානයේ පියා……….
මෝටිවේෂන් අප්පච්චී සහ ගැමුණු විජේරත්න……..
ඇතැම් අවස්ථාවල පුද්ගලයන් දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කිරීමේ චේතනාවෙන් පොලීසිය මෙම පනත යොදා ගෙන ඇති අවස්ථාද තිබේ.මෙම සැකකරුට එරෙහිව මෝටිවේෂන් අප්පච්චී සහ ගැමුණු විජේරත්න යන පුද්ගලයන් දෙදෙනාගේ සාක්ෂි ප්‍රධාන සාක්ෂි ලෙස පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා මෝටිවේෂන් අප්පච්චි නැමති සාක්ෂිකරු ලබා දී ඇති ප්‍රකාශය තුළින් අරගලය මුලදී සාමකාමීව පැවතුනද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එයට එක්වීමත් සමගම අරගලය ප්‍රචන්ඩ වූ බව සඳහන් කර තිබෙනවා.නමුත් වසන්ත මුදලිගේ නැමති සැකකරු ප්‍රචන්ඩ ක්‍රියා සිදු කළ බවක් හෝ ප්‍රචණ්ඩ ක්‍රියාමෙහෙයවූ බවක් හෝ ප්‍රචන්ඩ ක්‍රියා සිදු කිරීමට උපදෙස් දුන් බවක් මෝටිවේෂන් අප්පච්චි නැමැත්තාගේ සාක්ෂි වලින් අනාවරණය වී නැහැ.
විදේශීය ත්‍රස්ත සංවිධාන………
ගැමුණු විජේරත්න නැමති සාක්ෂිකරුගේ සාක්ෂි වලින් විදේශීය ත්‍රස්ත සංවිධාන සමග සැකකරු මුදල් හුවමාරු කර ගත් බව සඳහන් කර තිබෙනවා.එහෙත් පොලීසිය මෙම සැකකරු මාස ගණනාවක් රඳවා ගෙන විමර්ශනය කෙරුවද එම විමර්ශන වලින් සැකකරු විදේශීය ත්‍රස්ත සංවිධාන සමග සම්බන්ධකම් පවත්වමින් මුදල් ලබා ගත් බවක් අනාවරණය කරගෙන නැහැ.ඒ  අනුව මෙම සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ පදනම් විරහිත හුදු ප්‍රකාශ පමණක් බව පෙනී යනවා.
සැකකාර වසන්ත මුදලිගේ අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති විරෝධතාවකදී පොලිස් නිළධාරියෙකුට  ඇද ගෙන ගොස් පහර දුන් බවට  සාක්ෂි සම්පිණ්ඩනය තුළ සාක්ෂියක් ඉදිරිපත් වී තිබෙනවා.සිද්ධියට සම්බන්ධ එම පොලිස් සැරයන් වරයා ත්‍රස්ත කාර්යංශයට ලබා දුන් ප්‍රකාශයේ ඒ බව සඳහන් කර තියෙනවා.එහෙත් එම පොලිස් සැරයන්වරයාම තලංගම පොලීසියට ලබා දුන් මුල් ප්‍රකාශයේ එවැනි පහරදීමක් ගැන වාර්තා කර නැහැ.එම පහර දීම සිදුවුන ස්ථානයේ පොලිස් නිළධාරීන් විශාල පිරිසක් රාජකාරියේ නිරතව සිටි බව සාක්ෂි වල සඳහන් වෙනවා.
නිර්මාණය කරන ලද සාක්ෂියක්……….
එවැනි පහර දීමක් සිදු වුනානම් අනෙක් පොලිස් නිළධාරීන් එය දැක තිබිය යුතුයි .එහෙත් වෙනත් කිසිදු පොලිස් නිළධාරියෙක් එවැනි පහර දීමක් ගැන සාක්ෂි දී නැහැ.එම සාක්ෂිය ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිතා කරමින් සැකකරු දිගින් දිගටම රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ අරමුණින් නිර්මාණය කරන ලද සාක්ෂියක් බවට පෙනී යනවා .සැකකාර වසන්ත මුදලිගේ රාජ්‍ය දේපොල වලට පහරදී අලාභහානි කිරීම මංමාවත්වලට හානි කිරීම හෝ අනර්ථයක් සිදුු කළ බවට සාක්ෂි කිසිවක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩනයෙන් අනාවරණය වෙන්නේ නැහැ.එමෙන්ම සැකකරු ජාතිවාදය හෝ ආගම්වාදය මතුවන ආකාරයට ප්‍රකාශ සිදු කළ බවටවත් සාක්ෂි ඉදිරිපත් වී නැහැ.
සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු……..
සැකකරු කොටුව පොලිස් මූලස්ථානය අසලදී සහකාර පොලිස් අධිකාරී රොද්‍රිගු නැමැති නිළධාරියාට බැණ වදිමින් මරණීය තර්ජන එල්ල කළ බවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පිණ්ඩන වල සඳහන් කර තිබෙනවා.එහෙත් එම සහකාර පොලිස් අධිකාරිවරයා කොටුව පොලීසියට ලබා දුන් සිය මුල් ප්‍රකාශයේ එවැනි තර්ජනය කිරීමක් ගැන සඳහන් කර නැහැ.එවැනි තර්ජනයක් කර තිබුණේ නම් එය ඔහුගේ මුල් ප්‍රකාශයේ සඳහන් කර තිබිය යුතුය.එසේ නොකිරීම තුළින් පෙනී යන්නේ එම සාක්ෂියද මෙම සැකකරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවභාවිතයට ලක් කරමින් රඳවා ගැනීම සඳහා පසුව නිර්මාණය කරන ලද්දක් බව පෙනී යනවා.මෙම සියලු කරුණු  පරීක්ෂා බලන විට සැකකරුට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 02 සහ 03 වගන්ති යටතේ වරදක් සිදු කිරීමට අනුශාසනා කිරීම,කුමන්ත්‍රණය කිරීම,හෝ ආධාර අනුබල දීම සිදු කළ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය නොවන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පැවසීය.
ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තමන්ට නීතිමය හැකියාවක් නොමැති බව සඳහන් කළ ⁣ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වසන්ත මුදලිගේ නිදහස් කරන බව ප්‍රකාශ කරන ලදී 

Spread the love

Leave a Comment

You may also like