උණුසුම් පුවත් උණුසුම් පුවත්

පොලිස් විශේෂ කාර්ය බලකාය කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරද්දී මහේස්ත්‍රාත්වරුන් එම බලකායේ බට්ලර් ⁣වරු වෙලා -ලැජ්ජයි හිරිකිතයි කණගාටුයි ස්වාමීනි

Spread the love

රටේ නීතිය හා සාමය රැකීම කෙරෙහි ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය භාරය සුවිශේෂී වුවද අත් අඩංගුවට ගැනීම් වලදී සැකකරුවන්ට සලකන ආකාරය ගැන නම් ජනතාව තුළ  පොලීසියට පිළිබඳව ඇත්තේ එතරම් හොඳ ගෞරව බහුමානයක් නොවේ.1924 අංක 22 දරණ පනතට අනුව පොලිස් වද හිංසාව යනු මෙරට තුළ සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අපරාධයකි.මේ පනතට අනුව ඕනෑම පොලිස් නිළධාරියකු විසින් වද හිංසාවක් කළ හොත් එම නිළධාරියා වසර 07 ක සිර දඬුවමකට හා  දඩ මුදලකට යටත් කළ හැකිය.නීතිමය තත්වය එසේවුවද මෙරට පොලිස් වද හිංසා හා අත් අඩංගුවට ගත් සැකකරුවන් මරා දැමීම නැවැත්වීමට එම නීති පද්ධතියට හැකි වී නැත.

පොලීසියේ කෙරුවාව ගැන මහජනතාව තුළ පවතින අවිශ්වාසය සැකය හා දූෂිත බව තහවුරු කෙරෙන සාක්ෂි හා තොරතුරු අනන්තය.අප්‍රමාණය.එය එසේ තිබියදී පොලීසියට අනුයුක්ත කර තිබෙන අර්ධ මිල්ටෙරි ඒකකයක් ලෙස සැළකිය හැකි වි⁣ශේෂ කාර්ය බලකාය මේ වන විට අත් අඩංගුවට ගන්නා සැකකරුවන් මරා දැමීම විනෝද ජනක ක්‍රීඩාවක් බවට පත් කර ගෙන තිබේ.

එකම පිටපතකට අනුව මෙසේ මරා ⁣දැමෙන සැකකරුවන් පිළිබඳව සමාජය එතරම් අවධානයක් යොමු කර නැතිවීම විශේෂ කාර්ය බලකායේ වාසියට හේතුවක් වී තිබේ.එම ඝාතනයන් සාධාරණීකරණය කිරීමට ජනමාධ්‍යවල උපකාරය විශේෂ කාර්ය බලකායට ලැබී තිබෙන බවද පැහැදිලිය.

විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසු ආයුද පෙන්වීමට ගෙනියන සැකකරු අත් අඩංගුවෙන් මිදී පලා යාමට හෝ සඟවා තිබූ ආයුදයකින් ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් ඝාතනයට ලක්වීම මෙරට සමාජය තුළ සිඳු කරන සැළසුම් සහගත අපරාධයක් සාමාන්‍යකරණය වී ඇත්තේ එම සැකකරු ඉතා දරුණු ගනයේ පාතාල ක්‍රියාකාරිකයකු ලෙස ජනමාධ්‍ය මගින් සමාජගත කිරීම නිසාය.

 එම ඝාතනය සිඳුවූ ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා විසින්ද එය සාධාරණීකරණය කර තීන්දු ප්‍රකාශයට පත් කිරීමද ඉතා බරපතලය.

සැබවින්ම විශේෂ කාර්ය බලකාය විසින් මෙතෙක් සිඳු කර ඇති එවැනි ඝාතන මහේස්ත්‍රාත්වරුන් විසින් කිසිදු විමසීමකින් තොරවම විනිශ්චය කර ඇත්තේ විශේෂ කාර්ය බලකායේ මෙලේච්ඡත්වය තව දුරටත් උසි ගන්වන ආකාරයෙනි.සැබවින්ම මෙරට නීතිය හා සාමය ආරක්ෂා කළ යුතු දෙවිවරුන් වන  මහේස්ත්‍රාත්වරුන්ද

 සාහසික මිනිස් ඝාතකයන් බවට පත් වී සිටීම  ඉතා කණගාටුදායකය.මේ අනුව

මහේස්ත්‍රාත්වරුන් හෘද සාක්ෂියක් නැති

අමානුෂික මැරයන් ලෙස විශේෂ කාර්ය බලකායේ බට්ලර් වරුන් බවට පත් වී ඇතැයි සඳහන් කළද වරදක් නැත.

අත් අඩංගුවට පත් වූවන් විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවේ සිටියදී මරා දැමීම ගැන ප්‍රශ්ණකාරී වටපිටාවක් නිර්මාණය වන්නේ එසේ මරා දමා ඇත්තේ අපරාධ සිද්ධියට සම්බන්ධ සැබෑ සැකකරුවන් නොවන බවට අප හට දිගින් දිගටම ලැබී ඇති තොරතුරු නිසාය.⁣පසු ගිය කාලයේ මෙරට විශේෂ කාර්ය බලකාය විසින් යම් අපරාධයකට  අත් අඩංගුවට ගෙන මරා දැමුනු සැකකරුවන් බොහෝ දෙනෙකු එම අපරාධ සිද්ධියට සම්බන්ධ සිල්ලර චරිත ⁣බවට අනාවරණය වී තිබේ.ඒ කෙසේවෙතත් ඊටත් වඩා බරපතල කාරණය වන්නේ එම අපරාධ සිඳුවීමට සම්බන්ධ සිල්ලර චරිතයක් අත් අඩංගුවට ගෙන වි⁣ශේෂ කාර්ය බලකාය විසින් ඝාතනය කරන්නේ මුදල් කොන්ත්‍රාතු මත බව හෙළි වීමය.එලෙස සිල්ලර චරිතයක් අත් අඩංගුවට ගෙන මරා දැමූ පසු අපරාධය සම්බන්ධයෙන් වග කිව යුතු හා ප්‍රධාන පාතාල ක්‍රියාකාරිකයන් වසන් වේ.ඉන් අනතුරුව එම අපරාධ සිද්ධියේ ගොනුව වසා දැමේ.

මේ නාඩගමට සම්බන්ධ විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් හ⁣ට පාතාල නායකයන් ගෙන් දොල පිදේනි ලැ⁣බේ.

විශේෂ කාර්ය බලකාය කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් මරා දැමීම අරඹන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ගේ කාලයේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගොඨාභය රාජපක්ෂ ගේ මැදිහත් වීමෙනි.ඒ කාලයේදී කොළඹ පදිකයේ සිඟා කෑ අසරණයින් මරා දමන්නට විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර ඒ සඳහා යෙදවූවන් එම අසරණයන් මරා දමන ලද්දේ පදිකයේ නිදා සිටියදී කලු ගල් ඔළුවට අත හැර දැමීමෙනි. 2014 වර්ෂයේදී ජාතික හෙල උරුමයේ නායක ලෙස කටයතු කළ චම්පක රණවක 

විසින් පක්ෂයේ පර්යේෂණ අංශයේ 05 දෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් මෙරට ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය මාෆියාව හා ඊට සම්බන්ධව ඔවුන්ගෙන් කප්පම් ගන්නා දේශපාලඥයන්ද ආරක්ෂක අංශ ප්‍රධානීන්ද කවරුන්ද යන්න සෙවීමට කටයුතු කෙරිණි.

මෙම පර්යේෂණයට තොරතුරු ලබා දුන් ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දෙදෙනෙකු ඉතා මෙලේච්ඡ ආකාරයෙන් 2014 ජනවාරි 05 වන දින හා 26 වන දින ඝාතනය කරන ලදී.එසේ ඝාතනය වූ ගල්කිස්ස බඩෝවිට අසිත පෙරේරා ඝාතනය කරන ලද්දේ ගස් කපන චේන් ෂෝ  යන්ත්‍රයකින් බෙල්ල කපා දැමීමෙනි.අනෙක් තැනැත්තා වූ නිශාන්ත අපොන්සුගේ ගේ ශරීරය මන්නා මගින් ඉතා තියුණු කැපීම් වලින් කපා දමා ඝාතනය කර තිබුණි.

මේ ඝාතන දෙකම සිඳු කරන ලද්දේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නියෝග මත විශේෂ කාර්ය බලකායේ සහකාර පොලිස් අධිකාරී සිල්වෙස්ටර් ජගත් විජේසිංහය.බඩෝවිට අසිත පෙරෙරා ගේ හිස චේන් ෂෝ යන්ත්‍රය මගින් කපා දමන ලද්දේ මෙම සහකාර පොලිස් අධිකාරීවරයා විසින්ම බව අපට අනාවරණය විය.මෙසේ ඝාතනය කෙරුණු දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවරම් කරුවන් නොවේ.එහෙත් මොවුන් දෙදෙනා ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව හොඳ දැනීමක් හා අවබොධයක් තිබුණ අයවළුන් අතර මොවුන් පාඨලී චම්පක රණවක ගේ පර්යේෂණ කමිටුව වෙත එම තොරතුරු ලබා දුන් අය වේ.පාඨලී චම්පක රණවක අමාත්‍යවරයා මෙලෙස මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව තොරතුරු සොයන බවට දැනගත් ගෝඨභය රාජපක්ෂ  චම්පකයාට උන ගන්නට ඔහු හට තොරතුරු දෙන්නන් අල්ලා මරා දමන ලෙසට සහකාර පොලිස් අධිකාරී සිල්වෙස්ටර් හට නියෝග කරන ලදී.

මේ එලෙස සිද්ධ වූ ඝාතන දෙකක් ගැන පමණය.තව එවැනි බොහෝ ඝාතන සිදු වී තිබේ.

එම ඝාතන පූර්වාදර්ශී කරගනිමින් වි⁣ශේෂ කාර්ය බලකාය ⁣වර්තමානය වන විට  එවැනි ඝාතන මුදල් අය කර ගන්නා කොන්ත්‍රාත් ක්‍රමයට  සිඳු කරමින් පවතී.පාතාල ක්‍රියාකාරමක් පරිදි මෙරට සිඳුවන ඝාතනයකට ඉතා සෘජුව සම්බන්ධ නොවී සහාය දැක්වූ අයෙකු විශේෂ කාර්ය බලකායට පාවා දෙන්නේ එම ඝාතන සිඳු කළ ප්‍රධාන පෙලේ පාතාල ක්‍රියාකාරිකයාය.ඔහු විදේශගතව සිටිමින් විශේෂ කාර්ය බලකායේ තමා හා සම්බන්ධතා පවත්වන ඡ්‍යෙෂ්ඨයකු වෙත එම කොන්ත්‍රාතුව ලබා දේ.මුදල් ගනුදෙනුව සිද්ධ වන්නේ එම පාතාල ක්‍රියාකාරිකයා ජීවත්වන විදේශගත රට තුල පිහිටි බැංකු ජාලය තුළිනි.

පෑලියගොඩ පොලීසිය මගින් අත් අඩංගුවට ගත් කොස්ගොඩ තාරක ඝාතනය කරන ලද්දේ එවකට එහි සිටි සහකාර පොලිස් අධිකාරී මහින්ද වි⁣ල්ලෝරාච්චි හට කොස්ගොඩ සුජීව ගෙන් ලැබුණ ඝාතන කොන්ත්‍රාතුවක් මතය.කොස්ගොඩ තාරක ඝාතනය සඳහා අනුමැතිය ලබා දුන් එවකට  බස්නාහිර ඡ්‍යෙෂ්ඨ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට  පවා කොස්ගොඩ සුජීව දහසින් බැඳි පියලි ප්‍රදානය කළ බවට තොරතුරු තිබේ.සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාච්චි විසින් එවකට බස්නාහිර ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හට කොස්ගොඩ සුජීව හඳුන්වා දී දෙදෙනා අතර මිත්‍ර සම්බන්ධතාවක් ගොඩ නගා දී තිබුණි.මේ වන විට සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරාච්චි එංගලන්තයේ ජීවත් වේ.දේශබන්දු තෙන්නකෝන් හට කොස්ගොඩ සුජීව විසින් ලබා දෙන මුදල් ගනුදෙනු වල කළමණාකරු මහින්ද විල්ලෝරාච්චි බවට අපට සැකයක් මතු වී තිබේ.ඒ ඔහු එංගලන්තයේ ගත කරන සුඛෝපභෝගී ජීවිතය නිසාය.මහින්ද විල්ලෝරාච්චි පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයකු වන්නට පෙර සමෘද්ධි නිළධාරියකු ලෙස හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයක්තව සේවය කළ සාමාන්‍ය රජයේ නිළධාරියෙකි.

එවැන්නකු සහකාර පොලිස් අධිකාරීවරයක් වන විට කෝටිපතියකු බවට දියුණුවක් හිමි කර ගත්තේ පොලීසියේ මාසික වැටුපෙන් නොවන බව ස්ථිරය.   

 මේ වන විට විශේෂ කාර්ය බලකායේ බොහෝ ප්‍රධානීන් කොස්ගොඩ සුජීව හා සම්බන්ධකම් පවත්වන බවටද අනාවරණය වී තිබේ.

එය වඩාත් තහවුරු වන්නේ වර්තමානයේදී ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවෙි පසුවන කොස්ගොඩ සුජීව මෙරටට ගෙන්වීමට නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් හෝ පොලිස්පති දේශබන්දු කිසිදු උනන්දුවක් නොමැතිවීම නිසාය.අඩුම වශයෙන් මේ දෙදෙනා කොස්ගොඩ සුජීව ඩුබායි රාජ්‍යයේ අත් අඩංගුවේ සිටින බවටවත් ප්‍රසිද්ධියේ නොපවසති.කොස්ගොඩ සුජීව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති බරපතල ගණයේ අපරාධ  කරුවෙකි.එහෙත් පොලිස්පති,විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් හා කොස්ගොඩ සුජීව අතර පවතින ගජමිතුරු සම්බන්ධතාව නිසා සුජීවට නිකුත් කර ඇති  රතු වරෙන්තු බල්ලාට ගොසිනි.    

කෝන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් හට මේ වන විට යුක්තියේ මෙහෙයුම නම් තක්කඩි නීතිමය ආවරණයක්ද රජය මගින් සපයා තිබේ.පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේදී අහුංගල්ල RIU හෝටලය ඉදිරිපිටදී සිඳු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාල කුලී ඝාතකයා ලෙස විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගන්නා ලද තනමල්විල මහේෂ් ඉන්දික ප්‍රභාත් පසුව විශේෂ කාර්ය බලකාය විසින් බලපිටිය බණ්ඩරවත්තේදී ඝාතනය කරන ලද්දේ අත් අඩංගුවෙන් මිදී පලා යාමට තැත් කළ බව ප්‍රකාශ කරමිනි.එහෙත් පසු කාලයකදී හෝකන්දර සිංහපුර සැඟවී සිටියදී  බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගත් දන්කුඩ්ඩා නැමැත්තා විසින්  තමන් අහුංගල්ල සිදු කළ ඝාතනයේ වෙඩික්කරු බව පිළිගෙන තිබේ.

එසේම කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමුදු රුක්ෂාන් පිංතු ඝාතනය සම්බන්ධව විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගෙන සැඟවූ ආයුද පෙන්වීම⁣ට ගොස් ඝාතනය කරන ලද තුවාන් ශිරාන් නැමැත්තාද එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඝාතකයා නොවන බව පසුව හෙළිදරව් විය.  

අම්බලන්ගොඩ⁣ පොලීසියේ පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර ඝාතනයේ ඝාතකයා ලෙස විශේෂ කාර්යය බලකාය මගින්   අත් අඩංගුවට ගෙන පැන යාමට තැත් කිරීමේ පිටපතට අනුව ඝාතනය කරන ලද හිටපු හමුදා සෙබලකු වූ වාද්දුවේ සංජීව සිල්වා එම ඝාතනයේ ඝාතකයා නොවන බව මේ වන විටත් අනාවරණය වී තිබේ.

විශේෂ කාර්ය බලකාය විසින් කොන්ත්‍රාත් ක්‍රමයට සිදු කරන මෙම සාහසික ඝාතන නිසා සැබෑ අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වී නැත.එය එසේ සිදු වුව හොත් විශේෂ කාර්ය බලකාය අමාරුවේ වැටෙන නිසා පොලීසිවල අපරාධ අංශ නිළධාරීන්ද සිය බල ප්‍රදේශවල සිදු වූ  අපරාධයන්හී විමර්ශන ගොනු මේස ලාච්චුවල සඟවා ගෙන සිටී. 

එළඹෙන ජනපතිවරණයෙන් පසුව මෙරට නව ජනපතිවරයකු පත් වන බවට කිසිම සැකයක් නැත.එය එසේ වුව හොත් වර්තමානයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ හා සිදු කරමින් පවතින අමානුෂික මෙලේච්ඡ මිනිස් ඝාතන සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපති කොමිෂමක් පත් කළ යුතුමය.එහෙත් එම අභිනව ජනපති වරයාද මේ මිනීමරුවන් සමග එක මල්ලේ ලුණු කන එකෙක් නම් අපට ලියන්නට ඇත්තේ ජනතාවට දේවියන්ගේ පිහිටයි කියාය.ජාතික ජන බලවේගයේ නායකයන් හෝ සමගි ජන බලවේගයේ නායකයන් විශේෂ කාර්ය බලකාය සිදු කර ඇති මේ අනීතික ඝාතන ගැන විරෝධය දක්වා ඈනුමක් වත් යවන්නේ නැති වීම ගැනද අපට ඇත්තේ බරපතල සැකයකි.


Spread the love

You may also like