උණුසුම් පුවත් උණුසුම් පුවත්

ජනතා විමුක්ති පෙරමුණේ පළමු පරිච්ඡේදයේ වීරයකු දැයෙන් සමුගනී

Spread the love

ජනතා විමුක්ති පෙරමුණේ පළමු පරිච්ඡේදය තුළ සඳහන්ව මෙතෙක් කාලයක්  ජීවතුන් අතර සිටි එකම චරිතය ⁣මෙළොවින් නික්ම ගොස් තිබේ. 

ඔහු රෝහණ විජේවීර සමග ජනතා විමුක්ති පෙරමුණ  බිහි කිරීමේ ප්‍රථම සාකච්ඡාවට සහභාගි වූ මුල් හතරදෙනා අතර සිටි අම්බලන්ගොඩ පියසිරි ගුණරත්න සහෝදරයාය.

ජනතා විමුක්ති පෙරමුණ ඇරඹීම  සඳහා මුල්ම සාකච්ඡාව පවත්වා ඇත්තේ මේ වන විට පූජ්‍ය මහාචාර්ය විලේගොඩ අරියදේව විහාරාධිපතිත්වය උසුලන එවකට පූජ්‍ය පටබැඳිමුල්ලේ බුද්ධ ශ්‍රී නාහිමියන් විහාරාධිපතිත්වය දරමින් වැඩ විසූ  අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ පිහිටි ශ්‍රී විජයාරාමයේ බුදු මැදුරේ කොටසකය.

එක්සත් ජාතික පාක්ෂික පවුලක උපත ලද පියසිරි ගුණරත්න සහෝදරයා පසුව කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව එහි අනුරාධපුර ශාඛාවේ ලේකම් ලෙස පත්වී ඇත.ඉන් අනතුරුව ඔහු කොමියුනිස්ටි පක්ෂයේ චීන පිලට සමග එක්වී තිබේ.

පියසිරි ගූණරත්න සහෝදරයා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ පක්ෂ මූලස්ථානයේ කටයුතු වලට සම්බන්ධ සිටියදී එම කාර්යාලයට නිතර පැමිණි රෝහණ විජේවීර සහෝදරයා හඳුනා ගත් බව පැවසේ.ඔහු රෝහණ විජේවීර සහෝදරයා සමග කිට්ටු සම්බන්ධතාවක් ඇති වීමට හේතුව වී තිබුණේ විජේවීර සහෝදරයා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යකු වීමය.

තමන් සම්බන්ධ වී සිටි කොමියුනිස්ට් චීන පිලේ උදාසීන දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් රෝහණ විජේවීර සහෝදරයා කළකිරී සිට ඇති අතර ඒ සම්බන්ධයෙන් පියසිරි ගුණරත්න සහෝදරයා සමග සාකච්ඡා කර ඇත.පසුව පක්ෂයේ ක්‍රියාකාරිකයන් ලෙස කටයුතු කළ සිරිල් දහනායක,සනත් බෙරළුකැටිය සමගද ඒ පිළිබඳව කතා බහ කර ඇති රෝහණ විජේවීර සහෝදරයා 1965 මාර්තු මාසයේ දිනයක පියසිරි ගුනරත්න සහෝදරයාගේ නිවසේ වැඩිදුරටත් සාකච්ඡාවක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.එම සාකච්ඡාව සඳහා රෝහණ විජේවීර සහෝදරයා සමග සිරිල් දහනායක ,සනත් බොරළුකැටිය තම නිවසට පැමිණි බව පියසිරි ගුණරත්න සහෝදරයා විසින් රචිත ස්වයං චරිතාපදානයේ සඳහන් කර ඇති අතර තමාගේ නිවස ඒ දිනවල අළුත්වැඩියාවක් කළ බැවින් නිවසට යාබදව පිහිටි කළුවඩුමුල්ල විජයාරාම පන්සලේ ලොකු හාමුදුරුවන් වූ පටබැදිමුල්ලේ බුද්ධ ශ්‍රී හිමියන් ගේ අවසරය ඇතුව එම පන්සලේ ධර්මශාලාවෙි එම සාකච්ඡාව පැවැත්වූ බවද එහි දැක්වේ.   

එම සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ තමන් සම්බන්ධ වී සිටින කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලේ දේශපාලන ප්‍රවර්ධනය පිළිබඳ කරුණු වන අතර සිය මතවාදයන් පක්ෂය තුළ ක්‍රියාත්මක කිරීමට යාමේදී   පක්ෂ නායකත්වයෙන් බාධා ඇති වුනහොත් ඉන් ඉදිරියට වෙනම කණ්ඩායමක් ලෙස දේශපාලන කටයුතු වල නිරත වීමට එහිදී ඔවුන් තීරණය කරන ලද බවද පියසිරි ගුනරත්න සහෝදරයාගේ ස්වයං චරිතාපදානයේ සඳහන් වේ.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව රෝහණ විජේවීර සහෝදරයා තීරණය කර ඇත්තේ ඒ වන විටත් කොමියුනිස්ටි පක්ෂයේ චීන පිලේ ප්‍රබල ක්‍රියාකාරිකයකුව සිට පක්ෂය පිළිබඳව කළකිරී සිටි මාක්ස්වාදය ගැන හා රටේ සමාජ ආර්ථික ප්‍රශ්ණ ගැන හසල අව⁣බෝධයකින් සිටි විදුහල්පතිවරයකු ලෙස සේවය කළ ව.පියසේන සහෝදරයාගෙන් වැඩිදුර උපදෙස් ගැනීමටය.

 පියසිරි ගුනරත්න ⁣සහෝදරයා තම ස්වයං චරිතාපදානයේ ඒ ගැන ලියා ඇත්තේ මෙසේය.

“……අපගේ ගෙදරින් රාත්‍රී ආහාරයද ගෙන අපි පියසේන සහෝදරයාගේ ගෙදරට ගියෙමු.එවකට ඔහු පදිංචිව සිටියේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ගමේ ඇල්පිටි පාරට මුහුණලා තිබූ නිවසකය.පියසේන සහෝදරයාගේ බිරිඳද ඉතා සුහදශීලී කාන්තාවක් වූ ඇන්ටි නෝනා මහත්මියයි.ඇයද ගුරුවරියක වූ අතර මේ වන විටත් මා හා සනත් ඇය හඳුනාගෙන තිබුණි.පියසේන සහෝදරයා සනත්ට තිරාණගමදී උගන්වා  තිබුණි.ටික වේලාවක් කතා කර කර සිට පියසේන සහෝදරයාට අපි ආ කාරණය කීවෙමු.පසුව පැදුරු කීපයක් ගෙන ගෙයි ඉදිරිපස කොටසට පැමිණ දොර වසා නිදා ගන්නා ලෙස ඔහු බිරිඳටද දරුවන්ටද කීවේය.අප එදා එළිවෙන තුරුම සාකච්ඡා කළෙමු.එහිදී අප උදයේ කරන ලද සාකච්ඡාව පිළිබඳ ඔහුට කීවෙමු.අද රටේ තත්වය හා ලංකාවේ වාමාංශික පක්ෂ ක්‍රියා කරන ආකාරය ගැන හොඳ විස්තරවක් ඔහු ඉදිරිපත් කළේය.ඔහු කොමියුනිස්ට් පක්ෂයේ සිට චීන පිලට ආවේත් එම පක්ෂය විප්ලවවාදී ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවද කීවේය.දොස්තර වික්‍රමසිංහ සහෝදරයා නායකයා වූ කොමියුනිස්ට් පක්ෂය (මොස්කව් පිල) ක්‍රියා කරන ආකාරය ගැනද ඔහු හොඳ විස්තරයක් කෙරුවේය……අද රටේ පවතින තත්වය අනුව පවතින ධනපති ක්‍රමය විනාශ කර සමාජවාදය ගොඩ නැගීම සඳහා වන පක්ෂයක් සඳහා සමාජයේ හිඩැසක් පවතින බව ඔහු අපට වටහා දුන්නේය……

පියසිරි ගුණරත්න සහෝදරයා ලියා ඇති ආකාරයට ⁣නව පක්ෂයක් බිහි කිරීමේ  කිරීමේ කලලය ගැබ් ගෙන ඇත්තේ මේ සාකච්ඡාවෙන් අනතුරුවය.එහි පීතෘත්වය ව. පියසේන නම් විදුහල්පතිවරයාට හිමි විය යුතුය.මේ

ව.පියසේන සහෝදරයා ගැන වර්තමාන සමාජයට අදහසක් හෝ අවබෝධයක් නොතිබෙන්නට පුළුවන .එහෙත් ඡ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රියගේ හා හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ පියා මේ ව.පියසේන විදුහල්පතිවරයා බව සඳහන් කළ විට එම නොදැනුවත්කම නිරාකරණය වනු ඇති බව නිසැකය. 

පක්ෂය ගොඩ නැගීමෙන් අනතුරුව ⁣කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලෙන් ඉවත්වූ දේශපාලන ක්‍රියාකාරිකයන් සදහා  පැවැති අක්මීමන සාකච්ඡාව හා අක්මීමන පුහුණු කඳවුර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ඉතිහාසයේ ඉතා ප්‍රකට සංසිද්ධියකි. 

පියසිරි ගුණරත්න සහෝදරයා ඒ කඳවුරේ සිදුවූ අපූරු සිද්ධියක්ද ස්වයං චරිතාපදානයේ සටහන් කර තිබේ.

“…..මෙම සාකච්ඡාවෙිදී විශේෂ සිදවීමක් විය.එනම් එහි සිටි වයස්ගතම සහෝදරයා වූයේ සාකච්ඡාව මෙහෙයවූ ව.පියසේන සහෝදරයා වීමත් මෙම සාකච්ඡාවට සහභාගි වූ ලාබාලම සහෝදරයා පසුකලෙක බදුල්ල දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද දේශප්‍රිය සහෝදරයා පියසේන සහෝදරයාගේ දෙවන පුත්‍රයා වීමත් සහ 

ඔවුන් දෙදෙනා සහභාගි වන බව දෙදෙනාට දෙදෙනා දැනගෙන නොසිටීමත්ය…….”

තවදුරටත් මෙි ග්‍රන්ථයේ ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භය ගැන පියසිරිි ගුනරත්න සහෝදරයා ඉතා වටිනා සඳහනක් කර තිබේ.

මේ එම සඳහනයි.

“…….ලංකාවේ ඇතිවූ පක්ෂ හා අප පක්ෂය අතර විශේෂිත කාරණා කිහිපයක්ම තිබුණි.ලංකාවේ අනිකුත් පක්ෂ ඇති වූයේ යම් කිසිවෙකු එනම් රටේ නමක් ඇති අයෙක් හෝ ප්‍රභූ අයකු කිහිප දෙනෙකු එකතු කර පක්ෂයක් නම් කර ඉන්පසු සාමාජිකයන් බඳවා ගැනීමෙන් හෝ තිබෙන පක්ෂයකින් කැඩී ගොස් එසේ ගිය කිහිප දෙනා එහි නිලතල බෙදාගෙන ඉන්පසු සාමාජිකයන් බඳවා ගැනීමෙනි.අප පක්ෂය ආරම්භ වූයේ නිර්ධන පන්තියේ කිහිප දෙනෙකු (ඇත්ත වශයෙන් බලනවානම් නිර්ධන පන්ති හැඟීමෙන් ඔද වැඩී ගිය තරුණයන්) එකතු වී සාකච්ඡා කර ඉන්පසු නිර්ධන පන්තිය (ඇත්ත වශයෙන්ම ගම්බද දුගී ගොවි පන්තිය ,ගුරුවරුන් ලිපිකරුවන් වැනි පහල මැද පන්තිය ඔවුන්ගේ රැකියා විරහිත දරුවන් හා විශ්ව විද්‍යාල ශිෂ්‍යන්) අප ⁣රටේ පවතාන තත්ත්වය පිළිබඳව දැනුවත් කර එය ලංකාවේ සෑම පලාතකම ව්‍යාප්ත කර අවුරුදු කීපයකට පසු පක්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කරමිනි……..”      

පියසිරි ගුනරත්න සහෝදරයා හැත්තෑ එකේ කැරැල්ලෙන් පසුව ජනතා විමුක්ති පෙරමුනේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටියද පක්ෂයට එරෙහිව කටයුතු නොකළේය.වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ දිනා ගෙන සිටින ජනතා ආකර්ශනය පිළිබඳව ඔහු සතුටින් සිටින්නට ඇති බවද සිතිය හැකිය.තමන් ඇතුළු තවත් සහෝදරයන් තිදෙනෙකු  විසින් මේ මහ පොළොවේ සිටවූ බීජයක්  දැවැන්ත වෘක්ෂයක් බවට පත් වීම ගැන සැබැවින්ම ඔහු ගේ හෘද සාක්ෂිය මහත් වූ අභිමානයකින් සිටින්නට ඇත.ඒ දැවැන්ත වෘක්ෂයේ සෙවනැල්ල මේ මහ පොළොව පුරා පැතිරී සෙවන දෙමින් තිබෙන මොහොතක පියසිරි සහෝදරයා නික්ම ගොසිනි.

සුබ රාත්‍රියක් සහෝදරයා


Spread the love

You may also like