වෙනත්

සාරාගේ ඩීඑන්ඒ ගැලපීමේ තිරනාටකය පාස්කු බෝම්බයේ සැබෑ රාජපක්ෂ මිනීමරුවන්ගේ නිෂ්පාදනයක්

Spread the love

පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවී අවුරුදු හතරකට ආසන්න වෙමින් තිබේ.මේ වන තුරු ⁣⁣පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුවට කිසිදු වුවමනාවක් නැති බව පැහැදිලිව පෙනෙන්⁣ට ඇති කාරණයකි.
ගෙවී ගිය අවුරුදු තුන……
පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ගෙවී ගිය අවුරුදු තුන තුලදීම එම ප්‍රහාරය සිඳු වූ අප්‍රේල් මාසය ආසන්න විට ආණ්ඩුව ජනතාව තුළ සැක සංකා මතුවන ආකාරයට විවිධ තිර නාටක සමාජගත කිරීම අපූරු සිදුවීමකි.
එක අවුරුද්දක මාර්තු නීතිඥ හිජාස් හිසබුල්ලා…….
එහිදී එක අවුරුද්දක මාර්තු මාසයේදී පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අත් අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරන ලදී.එහිදී අත් අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිසබුල්ලා මෙි වන විට මුදා හැර තිබේ.
දෙවන අවුරුද්දේ මාර්තු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුමඩකලපුවට මගී බස් රථ ප්‍රවාහනයට සම්බන්ධ……
ඉන් අනතුරුව දෙවන අවුරුද්දේ මාර්තු මාසයේ පොලීසිය විසින්  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු අත් අඩංගුවට ගත් බව ප්‍රකාශ කෙරිණි.ඒ සැකකරු මඩකලපුවට මගී බස් රථ ප්‍රවාහනයට සම්බන්ධ අයෙකි.
ඊළඟ අවුරුද්දේ මාර්තු මාසයේ පාස්කු බෝම්බ ප්‍රහාරය ආගමික අන්තවාදීන් සිදු කළ ප්‍රහාරයක්
නැවත ඊළඟ අවුරුද්දේ මාර්තු මාසයේදී සාකච්ඡාවක් පැවැත්වූ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුනරත්න නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකමි ඇතුළු පිරිසක් අවධාරණය කෙරුවේ පාස්කු බෝම්බ ප්‍රහාරය ආගමික අන්තවාදීන් සිදු කළ ප්‍රහාරයක් බවය.
මේ මාර්තු මාසයේදී පොලීසියේ නිෂ්පාදනයෙන් තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයෙන් සාරා ජැස්මින් ගේ
මේ මාර්තු මාසයේදී පොලීසියේ නිෂ්පාදනයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරයේ නව තිර නාටකය වේදිකා කර ගත කර තිබේ.එම තිර නාටකයේ කතාව තුළ ඇත්තේ තුන්වන ඩීඑන්ඒ පරීක්ෂණයෙන් සාරා ජැස්මින් ගේ  ඩීඑන්ඒ ගැලපී ඇති බවය.
පොලීසියේ මාධ්‍ය ප්‍රකාශකයාට සාරා ගේ ඩීඑන්ඒ ගැලපීම පිලිබඳව ඇති වී තිබෙන කඩි කුලප්පුව අමුතුය.දැන් ප්‍රශ්ණය ඇත්තේ මේ ඩීඑන්ඒ ගැලපීම අධිකරණයට ඉදිරිපත් නොකර දඩි බිඩියේ ඒ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා චූන් වූයේ මක් නිසාද යන්නය.
රටක රස පරික්ෂක අමු හෙළුවෙන්……..
මීට ඉහතදී දෙවතාවක්ම සාරා ජැස්මින්ට අදාලව ඩීඑන්ඒ පරීක්ෂණ කර ඒවා ඇය හා ගැලපීමක් නොවන බවට වාර්තා විය.මෙලෙස තෙවතාවක් ඩීඑන්ඒ පරීක්ෂණ කිරීම මෙරට අධිකරණ ක්‍රියාවලියට නරක පූර්වාදර්ශයක් වන බව නිසැකය.යම් ස්ත්‍රී දූෂණ නඩුවකදී විත්තිකරුවෙකුට සිය නිර්දෝශී බව තහවුරු කිරීම සඳහා දිගින් දිගටම ඩීඑන්ඒ පරීක්ෂණ කරන ලෙසට ඉල්ලීම් කළ හැකිය.
අදෘශ්‍යමාන බලවේගය…….
සාරා ජැස්මින් ගේ ඩීඑන්ඒ ගැලපීම සමග පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැබෑ අපරාධකරුවන් වසන් කර ගැනීමේ අදෘශ්‍යමාන බලවේගයක් මේ ආණ්ඩුව තුළ සිටින බවට අපට පෙනී යයි.යහපාලන ආණ්ඩුව පැවැති අවධියේ තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්ෂණ යටපත් කරන ලද්දේද මේ ආකාරයටය. එම අදෘශ්‍යමාන බලවේගය හා සම්බන්ධ පොලීසියේ කිහිප දෙනෙකු  පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ පොලිස් විමර්ශන යටපත් කිරීමට බරපතල ප්‍රයත්නයක නිරතව සිටින බව පැහැදිලිය.
බෝම්බ පිපිරීමෙන් මිය ගිය 16 දෙනා…….
පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් ගැන පොලීසියේ අවධානයට යොමු වන්නේ 2019 අප්‍රේල් මස 26 වන සයින්දු මරන්දු පිපිරීමෙන් පසුවය.මෙම පිපිරීම  සිදුවූයේ සහරාන් ගේ පියාගේ නිවසේය.එම බෝම්බ පිපිරීමෙන් පසුව සිදු කළ පොලිස් පරීක්ෂණ වලදී එහි 16 දෙනෙකුගේ මෘත ශරීර කොටස් හමුවූ අතර සහරාන් ගේ බිරිඳ වූ හාදියා හා කුඩා දියණිය තුවාල  ලබා ජීවතුන් අතර සිටි බවද හෙළිවිය.බෝම්බ පිපිරීමෙන් මිය ගිය 16 දෙනා වූයේ සහරාන්ගේ පවුලේ අය හා පිටස්තරයන් දෙදනෙකි.
සහරාන්ගේ පියා වූ මොහොමඩ් කාසිම්,මව වූ සිත්ති සිමාමා හා පවුලේ අනෙකුත් සාමාජිකයන් වන මොහොමදු සයිනි,සයිනි උමේල්,සයිනි හමානා,මොහොමඩ් රිල්වාන්,ෆාතිමා හස්නා,මයලා රිල්වාන්,මරුවාන් ශෂී,කාසිම් හිදායා,ඊබ්‍රාහිම් ඉෂාඩ්,රුකයිදා ඉෂාඩ්,සහරාන් මෆී,ෆාතිමා ඉෆ්රාඩ් යන අය වේ.අනෙක් දෙදෙනා වූයේ මඩකලපුව සියෝනි දේවාස්ථානය පිපිරවීමට සම්බන්ධ වූ බවට සැකකරුගේ බිරිඳ වන ෆෙරෝසා හා නියාස් යන අයයි.නියාස් මැද පෙරදිග රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණ සහරාන්ට සම්බන්ධ වූවෙකු බව පැවසේ.
සයින්දු මරන්දු පිහිටි සහරාන්ගේ නිවසේ සිදු වූ මෙම බෝම්බ පිපිරීමෙන් තුවාල ලබා ජීවිතය ගලවා ගත් සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා හාදියා පොලීසියට දී ඇති පළමු කට උත්තරයේ මෙසේ දැක්වේ. 
  සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා හාදියා……….
“…ඒ වෙලාවෙ පිපිරීමක් වුනා මට මොනව වුනාද කියල හිතා ගන්න බැරි වුනා.ගින්දර රස්නය දැනෙද්දි මට සිහිය ආවා දුව මගේ ලගට ආවා ඇය අයියා අයියා කියල කෑගැහැව්වා.දොර ලග මුන බිම පැත්තට පුතා වැටිල හිටියා.එයා දෙපාරක් විතර ඔලුව ඉස්සුවා.ටික වෙලාවකින් මං ඉස්සරහ කාමරය ගෑනු කෙනෙක් හිටගෙන හිටියා මම දෙමළෙන් කවුද කියල ඇහැව්වා.මමහිතන්නෙ ඈ සාරා…”
මෙම කට උත්තරය පාස්කු කොමිසමේ වාර්තාවේ 251 වන පිටුවේ දැක්වේ.
පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර……..
ඒ අතරේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඒ පිළිබඳව පැවැති පොලිස් පරීක්ෂණයේදී 2020 මාර්තු 31 වන දින පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර සහරාන් ගේ බිරිඳ සමග මඩකලපුව  කලවංචිකුඩි පිහිටි සාරා ජෙස්මින්ගේ මවගේ නිවසට ගොස් තිබේ.එම නිවස පරීක්ෂා කරද්දී පොකො පුෂ්පකුමාර  සාරා ජෙස්මින් ගේ මව වන කවීතා ගේ දුරකතනය විමර්ශනය කර ඇති බව අනාවරණය වේ.එම දුරකථනයේ වු ඡායාරූප ගොනුවක සාරා ජෙස්මින් ගේ කකුල් හා දෑත් වල බැන්ඩේජ් සහිත ඡයාරූප තිබී ඇත.ඒ ඡායාරූප පිළිබඳව පොකො පුෂ්පකුමාර ප්‍රශ්ණ කළ විට සාරා ගේ මව කියා ඇත්තේ හදිසි අනතුරකින් තුවාල ලද බව එම ඡායාරූප එවමින් දියණිය තමාට පැවසූ බවය.ඒ පිළිබඳව පොකො පුෂ්පකුමාර සටහන් දමා තිබේ.
පොලිස් පරීක්ෂක අබු බකර් අවුරුදු දෙකක් අත් අඩංගුවේ……
පොලිස් පරීක්ෂක අබු බකර් අවුරුදු දෙකක් අත් අඩංගුවේ රඳවා ගෙන සිටින ලද්දේ මේ සාරා ජෙස්මින් සයින්දු මරන්දු බෝම්බ  ප්‍රහාරයෙන් පසුව යතුරු පැදියක නංවා ගෙන ගියේයැයි පැවසෙන චෝදනාවටය.පසුගිය දිනයකදී පොලිස් පරීක්ෂක අබු බකර් ඇප මත මඩකලපුව මහාධිකරණය මගින් මුදා හැරිණි.  
පොලීසිය සාරාගේ ඩීඑන්ඒ ගැලපීම නිවැරිදියයි විහිළු සපයමින්……..
මෙම සියළු තොරතුරු වලින් සැකයක් මතු වන්නේ සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටින බවටය.සැබැවින්ම සාරා ජෙස්මින් ජීවතුන් අතර සිටීද නැද්ද යන්න පාස්කු ඛේදවාචකයෙන් අසරණ වූ වින්දිතයන්ට අදාල නැත.ඔවුන් එකම ඉල්ලීම මෙම ප්‍රහාරයේ සැබෑ වග උත්තර කරුවන් අනාවරණය කරන ලෙසය.යහපාලන ආණ්ඩුවේ එවකට අගමැති වරයා වූ රනිල් වික්‍රමසිංහ ගරු කාදිනල් වරයා හමුවී සහතික වූයේ මේ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසිය වෙත ලබා දෙන බවය.
උත්තරකරුවන් තව දුරටත් වසන් කර ගැනීමේ……..
දැන් මේ රටේ ජනපතිවරයා වී ඇත්තේ එදා ස්කොට්ලන්ඩ්යාර්ඩ්  පොලීසිය ගැන විශ්වාසය තැබූ අගමැති වරයාය.එහෙත් දැන් පාස්කු ඛේදවාචකය ගැන ඔහුට වගේ වගක් නැත.පොලීසිය සාරාගේ ඩීඑන්ඒ ගැලපීම නිවැරිදියයි විහිළු සපයමින් සිටින්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැබෑ වග උත්තරකරුවන් තව දුරටත් වසන් කර ගැනීමේ අපේක්ෂාවෙන් බව අපට විශ්වාසය.
අපට පොලීසියට මේ ගැන සිහිපත් කරන්නට ඇත්තේ හිටපු නීතිපති දප්පුල ලිවේරා විසින් පාස්කු බෝම්බ ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට කළ ප්‍රකාශයයි.එසේම සයින්දු මරන්දු පිපිරීමෙන් පසුව සාරා ජෙස්මින් රැගෙන ගිය බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක අබු බකර්ට එරෙහිව මහාධිකරණයේ චෝදනා ඉදිරිපත් කරන ලද්දේ කවර විමර්ෂණයක සාක්ෂි හා තොරතුරු පදනම් කර ගනිමින්ද යන්න පොලීසියෙන් අපි ප්‍රශ්ණ කරමු.
පොලිසියේ නපුංසක උත්සාහය…….
පොලීසිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ මිනීමරුවන් වසන් කර ගැනීම සඳහා දරන නපුංසක උත්සාහය විහිළු සහගතය.
පාස්කු බෝම්බ ප්‍රහාරය කාගේ අවශ්‍යතාවකට සිඳු කරන ලද මෙලේච්ඡ ක්‍රියාවක්ද  යන්න මුළු රටම දනී.එහෙත් ඒ බව නොදන්නේ පොලීසිය විතරමය.   
 

 


Spread the love

Leave a Comment

You may also like