උණුසුම් පුවත්

පොරොන්දු දේශපාලනය තුළ අපේ යෝජනාව මෙහෙමයි

Spread the love

ලංකා දවසට ලැබෙමින් පැවතෙන තොරතුරු අනුව ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුල මුල් ඇද ගනිමින් තිබේ.මේ පක්ෂ දෙකෙන් වැඩි ජන ප්‍රසාදය ඇත්තේ කවර පක්ෂයකටද යන්න අපට කිව නොහැකිය.සමගි ජන බල වේගය සම්ප්‍රදායික දේශපාලනය තුළ සිය දේශපාලන ප්‍රචාරක කටයුතු ගෙන යමින් තිබෙන බවද ජාතික ජන බලවේගය ඉන් ඔබ්බට නව දේශපාලනික උපාය උපක්‍රමයන් භාවිතා කරමින් සිය  දේශපාලන භාවිතය ජනතාවට හඳුන්වා දෙමින් තිබේ.කෙසේ වෙතත් මේ මොහොත වන විට මෙරට දේශපාලනයේ ක්‍රියාකාරීව ජනතාවට සමීපව සිටින්නේ මෙම පක්ෂ දෙක බව පැහැදිලිය.

ජාතික ජන බලවේගය තමන්ගේ ආණ්ඩුවකදී ඇමති මණ්ඩලය විසි පහකට අඩු කරන බවද එම ඇමති මණ්ඩලය විද්‍යාත්මක පදනමකින් පත් කරන බවද කියා තිබේ.එහිදී වැඩි දුරටත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ දේශපාලඥයන් ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන බවද දේශපාලනය සෙවෙච්ඡා මැදිහත් වීමක් ලෙසට සමාජගත කිරීමට පියවර ගන්නා බවටද පවසා ඇත.
රජයේ සංස්ථා අධිකාරී වලට දේශපාලනයෙන් තොරව වෘත්තිකයන් පත් කිරීමට කටයුතු කරන බවත් අල්ලස දූෂණය නැති කිරීමට නීතියේ බල අධිකාරිත්වය ස්වාධීන ශක්තිමත් පදනමක පිහිටුවීමට කටයුතු කරන බවත්  ජාතික ජන බලවේගයේ තවත් පොරොන්දුවකි.
දේශපාලනයෙන් සොරා කෑ දේපොල කොන්දේසි විරහිතව නැවත අය කර ගන්නා බවද එම පක්ෂය කියා සිටී
තව බොහෝ පොරොන්දු ජාතික  ජන බලවේගය මගින් ජනතාව වෙත ලබා දී ඇතත් අප මෙහි සඳහන් කරන ලද්දේ මෙරට බිඳ වැටුණු සමාජ දේහයට සේලයින් සැපයීමට හැකි යැයි අපට වැටහෙන තරමේ පොරොන්දු කිහිපයක් පමණය. ඒ පොරොන්දු තුළ කාලීන වටිනාකමක් තිබේ.දැන් අපට ප්‍රශ්ණය වන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගත හොත් මේ පොරොන්දු ඉටු කරන බවට තිබෙන සහතිකය කුමක්ද යන්න ගැනය.අවුරුදු හැත්තෑවක් තිස්සේ මෙරට ජනතාව ආණ්ඩු පිහිටුවූයේ පොරොන්දු දේශපාලනය පිළිබඳව විශ්වාස කරමිනි.ඒත් වර්තමානයේ රට බංකොලොත් වී ඇත්තේද එම පොරොන්දු දේශපාලනයේ කෙරුවාව සටහන් කරම්නි.
ජාතික ජන බලවේගයට තමන් විසින් ජනතාවට දෙන පොරොන්දු ඉටු කරන බවට දෙන ගැරන්ටිය කුමක්ද? ඒවා ඉටු නොකළහොත් ජනතාව ගත යුතු ක්‍රියා මාර්ග කවරේද? අපි ජාතික ජන බලවේගයෙන් ප්‍රශ්ණ කරමු.අප එසේ ප්‍රශ්න කරන අතරේම ජාතික ජන බලවේගය හා ජනතාව අතර ඒ සම්බන්ධයෙන්  නෛතික ගිවිසුමකට  එළඹීම සුදුසු බවද අපි යෝජනා කර සිටිමු.
එය සිදුවිය යුත්තේ මෙසේය.ජාතික ජන ⁣බලවේගය මේ වන විට ජනතාව වෙත ලබා දී ඇති සමාජ දේහයට ඉතා බලපෑම් සහගත වන පොරොන්දු තම ආණ්ඩුවක් යටතේ වහාම ඉටු කරන බවට ජනතාව අතර ගිවිසුම් ගත විය යුතුය.ඒ ගිවිසුම යනු පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල වශයෙන් රටට ඉදිරිපත් කරන කඩදාසි තොගය නම් නොවිය යුතුය.
එම පොරොන්දු හා ඒවා ඉටු කරන කාල රාමුව ආදී වශයෙන් ගිවිසුමක් සකස් කොට පක්ෂය ගිවිසුම් කරු ලෙසද සාක්ෂිකරුවන් ලෙසට ත්‍රෛනිකායික නායක ස්වාමීන්වහන්සේලා අන්‍යාගාමික පූජකතුමන්ලා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්,ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන්,විශ්‍රාමික විනිසුරුවරුන් ,ප්‍රාදේශීය සිවිල් සංවිධාන ආගමික සංවිධානයන් ආදී මේ හා කැමැත්තක් දක්වන සියළු පාර්ශවයන්  සමග නෛතික බැඳීමකට යටත් විය යුතුය.ගිවිසුම තුළ දැක්වෙන කාල රාමුව තුළ පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුව හොත් ආණ්ඩු බලය හිමි ගිවිසුම්කරු ගන්නා ක්‍රියාමාර්ගයද පැහැදිලිව සඳහන් කළ යුතුය.
සැබැවින්ම මෙය මෙරට ව්‍යවස්ථාවට සම්බන්ධ වැඩ පිළිවෙලක් නොවේ.මේ ක්‍රියාදාමය තුළ පවතින්නේ දේශපාලනික  නායකත්වයේ අවංක භාවය හා විශ්වසනීයත්වය පමණකි.
මෙය නොකළ හැක්කක් නොවන බවද අපි දනිමු.
මෙරට දේශපාලනය තුළ මෙය නැවුම් අත්හදා බැලීමක් වනු ඇති බව අපගේ විශ්වාසයයි.මෙම යෝජනාව ජාතික ජන බලවේගයට සීමා නොවී සමගි ජන බලවේගය තුළද ක්‍රියාත්මක කිරීමට පුළුවන.අපට ඕනෑ කරන්නේ පොරොන්දු දේශපාලනය වංචාවක් නොවන ක්‍රියාවලියක් බවට පත් කිරීමය.

Spread the love

Leave a Comment

You may also like