උණුසුම් පුවත්

ජේ.ආර්. ඇරඹූ මදාවි දේශපාලනයෙන් ඔහුගේ මුණුබුරා බැට කයි.

Spread the love

කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී වරුන් අතර අද දින(31) ඇතිවූ  ආරවුලකදී නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන බිත්තර හා මිරිස් කුඩු  ප්‍රහාරයකට ලක් වූ බව  වාර්තා වේ.

නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති තනතුරට ඉල්ලා ඇති අතර එහිදී එම තනතුරට නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්දන ගේ නමද යෝජනා වී තිබේ.එකම තනතුරට අපේක්ෂක නම් දෙකක් සභාවේ යෝජනා වූ හෙයින් සභාවේ ඡන්ද විමසීමක් සිදු කර ඇති අතර ඉන් නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන ජය ගෙන ඇත.⁣මෙම ඡන්ද විමසීමෙන් පසුව පරාජයට පත් නාගරික මන්ත්‍රී සමන් අබේගුණවර්දන පිහියක් රැගෙන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්දනට පහර දීමට තැත් කර ඇතැයිද මෙම සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රීවරියක වන සමන් අබේගුණවර්දනගේ දියණිය වන සුරේඛා අබේගුණවර්දන විසින් ප්‍රදීප් ජයවර්දනට බිත්තර හා මිරිස් කුඩු ප්‍රහාරය කළ බව අනාවරණය වේ.

නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්දන කොළඹ නගර සභාව නියෝජනය කරන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය පවතින එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රී වරයකු ලෙසය.
නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්දන මෙරට විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන ගේ මුණුබුරාය.මෙරට පැවැති ප්‍රජාතන්ත්‍රවාදී  දේශපාලනය උඩු යටිකුරු කොට ලුම්පන් මැර ආධිපත්‍යය වැපිරූ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ගේ ධුර කාලය තුළ මෙරට පැවතියේ අනීතික වටපිටාවකි.කොළඹ නගර සභාවේ අද ඇතිවූ සිදුවීමේ හාස්‍ය ජනක තත්වය වන්නේ සිය මුත්තනුවන් විසින් මෙරට දේශපාලනය තුළ වැපිරූ ලුම්පන් දේශපාලනයේ අස්වැන්න මුණපුරා වන ප්‍රදීප් ජයවර්දනට භුක්ති  විඳින්නට සිදුවීමය.
නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන තමන්ට සිදුවූ පහරදීම සම්බන්ධයෙන් කුරුදුවත්ත පොලීසියට පැමිණිලි කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Spread the love

Leave a Comment

You may also like