නිසි බලපත්‍රයක් නොමැතිව පෝය දින එළු මස් ප්‍රවාහනය කෙරුවේයැයි චෝදනා කරමින් පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම නිසා මාරවිල පොලීසියේ නිළධාරීන් දෙදෙනෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය සාධාරණ සැකය නිවැරිදි මෙන්ම යුක්ති සහගත විය යුතු බවත් තීන්දුවේ සඳහන් කර තිබේ.
විජිත් මලල්ගොඩ ශිරාන් ගුණරත්න හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම තීන්දුවේ සඳහන් වන ආකාරයට සාධාරණ සැකයක් මත පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය පැවරී තිබුනද එහිදී මතුවන සැකය සාධාරණද නැද්ද යන්න තහවුරු කර ගැනීමට පොලීසිය කටයුතු කළ යුතු බවත් එම බලය අධිකාරීවාදීව හා අත්තනෝමතිකව භාවිතා කරමින් පුද්ගල නිදහස අහිමි නොකිරීමට පොලීසිය වග බලා ගත යුතුය.
මීගමුව පදිංචි සංජීව තිසේරා ,සහ සෙබස්තියන් ජූඩ් යන අයවළුන් දෙදෙනා විසින් සිය මූලික අයිතිවාසිකම් කඩ කරන ලදැයි මෙම පෙත්සම
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර එහි වග උත්තරකරුවන් වූයේ මාරවිල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා හා එම පොලීසියේ සැරයන් වරයකු සහ නීතිපතිවරයා නම් කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම ඉදිරිපත් කරන ලද ප්‍රකාශ කර තිබුණේ 2016 වසරේ සැප්තැම්බර් මස 15 වන දින තමන් මිහින්තලය ප්‍රදේශයෙන් එළු මස් කිලෝ 300 ක් මිලදී ගෙන ලොරියක පටවා ගෙන මීගමුවට පැමිනෙමින් සිටියදී මහවැවදී පොලීසිය ලොරිය නවතා එහි තිබූ මස් ප්‍රවාහනය සඳහා වූ බලපත්‍රය ඉදිරිපත් කරන ලෙසට නියම කළ බවය.එහිදී එළු මස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නොවන බවත් ඒවා මිලදී ගත් ලදු පත් සහ ඒ සදහා මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී විසින් නිකුත් කළ බලපත්‍රය පෙත්සම්කරුවන් විසින් පොලීසියට ඉදිරිපත් කර තිබේ.එහෙත් එහි සිටි පොලිස් සැරයන් වරයා විසින් මෙම පෙත්සම්කරුවන් අත්අඩංගුවට ගෙන මාරවිල අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔවුන් ඇප මත මුදා හැර ඇත.
මෙහිදී වග උත්තරකාර පොලිස් නිළධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ බලපත්‍රයක් නොමැතිව මස් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට මෙම පෙත්සම් කරුවන් අත්අඩංගුවට ගත් බවය.නිසි බලපත්‍රයක් නොමැතිව පෝය දිනයේ විශාල මස් තොගයක් ප්‍රවාහනය කිරීම නිසා ඇතිවූ සාධාරණ සැකය මත මෙසේ පෙත්සම් කරුවන් අත් අඩංගුවට ගත් බවත් පොලිස් නිළධාරීන් අධිකරණයට සඳහන් කර තිබුණි.
එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කර ඇත්තේ මෙම සිද්ධියේදී පෙත්සම් කරුවන් පිළිබඳව වග උත්තරකාර පොලිස් නිළධාරීන් ඉදිරියේ සාධාරණ සැකයක් මතු වූයේද යන්න මූලිකව පරීක්ෂා කළ යුතුය යන්නය.පෙත්සම්කරුවන් මිහින්තලයෙන් මස් තොගයක් මිලට ගෙන මීගමුවට ප්‍රවාහනය කිරීම සඳහා මස් තොගය මිලයට ගත් රිසිට් පත හා ඒවා ප්‍රවාහනය කිරීමට මිහින්තලය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී විසින් නිකුත් කරන ලද බලපත්‍රය පොලිස් නිළධාරීන්ට ඉදිරිපත් කර ඇති අතර අදාල මස් තොගය පිළිබඳව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර තිබියදී පොලීසියට සාධාරණ සැකයක් මතු වන්නේ කෙසේද යන්න ගැටළුකාරී බව විනිසුරු වරයා එහිදී සඳහන් තිබේ.මිහින්තලය සෞඛ්‍ය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා විසින් ඉදිරිපත් කළ සහතිකය ඉදිරිපත් කිරීමේදී මෙම මස් තොගය සඳහා එළුවන් ඝාතනය කර ඇත්තේ පෝය දිනයට පෙර දින බව අනාවරණය වන බව සඳහන් කර ඇති විනිසුරුවරයා එම කරුණු පරීක්ෂා කරන විට පෙත්සම් කරුවන් අත් අඩංගුවට ගැනීම පිළිබඳව සාධාරණ සැකයක් මතු වූ බවට වග උත්තරකාර පාර්ශවය ඉදිරිපත් කරන තර්කය පිළිගත නොහැකිය යන්න තීන්දුවේ ප්‍රකාශ කර තිබේ.
වැඩිදුරටත් සිය තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද විනිසුරුවරයා සාධාරණ සැකයක් මතුවූ කළ පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇතත් එම බලය නිවැරිදි ආකාරයෙන් භාවිතා කිරීමට පොලීසිය වග බලා ගත යුතුය යන්නත් සාධාරණ සැකය යුක්ති සහගත විය යුතු බවත්,එම සාධාරණ සැකය ආවරණයක් කර ගනිමින් පොලීසියට පැවරී ඇති බලය අත්තනෝමතිකව භාවිතා කිරීමට හැකියාවක් නැති බවද සඳහන් කර තිබේ.ඒ අනුව මෙම ක්‍රියාව තුලින් පෙත්සම්කරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා සාධාරණ සැකයක් උද්ගත නොවන බවත් ඒ තුලින් වග උත්තරකාර පොලිස් නිළධාරීන් පෙත්සම්කරුවන්
ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව වග උත්තරකාර මාරවිල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා විසින් රුපියල් 25000 බැගින්ද එම පොලීසියේ පොලිස් සැරයන් වරයා විසින් රුපියල් 10000ක බැගින්ද වන්දි වශයෙන් පෙත්සම්කරුවන් දෙදෙනාට ගෙවිය යුතු බවත් එම මුදල වග උත්තරකාර පාර්ශවයන් පෞද්ගලික මුදලින් ගෙවිය යුතු යැයිද නියෝගයේ දැක්වේ.
සාධාරණ සැකයක පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලැබේ