උණුසුම් පුවත්

වනය අල්ලන වනසම්පත් ඇමති සී.බී……..පිදුරුතලාගල වනසංරක්ෂණේ  ඇපල් ෆාම් ඉඩම් අල්ලගන්න කෝටිපතියෝ වන සංරක්ෂණ ඇමති හරහාම කුමන්ත්‍රණයක ?

Spread the love

ජයන්ත විජේසිංහ
පාර කොන්ක්‍රිට් කිරිමෙි කොන්ත්‍රාත්තුව ඇමති සී.බි ගේ සහෝදරයාට,
නුවරඑළිය දිසාවන නිළධාරියා ඇමති තීරණයට එරෙහිවෙයි.
දිසා වන නිලධාරී ස්ථාන මාරුවකට ඇමතිගෙ සූදානමක් .
පිදුරුතලාගල වනසංරක්ෂණේ  ඇපල් ෆාම් ඉඩම් අල්ලගන්න
කෝටිපතියෝ වන සංරක්ෂණ ඇමති හරහාම කුමන්ත්‍රණයක ?
පිදුරුතලාගල යනු මොන්ටිසෝරි දරුවකු පවා දන්නා පරිදි ලංකාවේ හිස් මුදුනයි. පුන පුනා මා සඳහන් කළ පරිදි වික්ටෝරියා රන්දෙනිගල රන්ටඹේ ඇතුළු මහවැලි මහජලාශ පුරවන්නේත්, මහවැලිය ඇතුළු කලාපවලට ජලය ලබාදෙන කුරුඳු ඔයේ සිට ජලධාරා විශාල ප්‍රමාණයක් සපයන්නේත් පිදුරුතලාගල කඳු මුදුනයි. වලාකුළු වනාන්තර ඇතුළු ඉතා විරල සුවිශේෂී අඩි 5000 ට වැඩි උසක පිහිටි මෙම කඳු මුදුනත්, එහි වන ආවරණයත් රටේම වර්ශාපතනයත්, ජාල සුරක්ෂිතතාවත්, විදුලිබල සුරක්ෂිතතාවත් කෙරේ බලපාන ආකාරය මා අවස්තා ගණනක පැහැදිලි කර ඇත.
අද මෙම ඇපල්  ෆාම් ඉඩම් කෝටිපතියන් විසින් අරක්ගෙන සිටී. නුවරඑළියේ දේශපාලකයින් පස්සේ යන, ඔවුන්ගේ චන්ද ව්‍යාපාරවලට අත දිගහැර වියදම් කරන මොවුන් අක්කර 20 සහ 30 සිට අක්කර 100ක් දක්වා වන විශාල භුමි ප්‍රමාණයක් අල්ලාගෙන, බලපත්‍ර ඉඩම් කුණුකොල්ලයට මිලදී ගෙන කැලය ටිකින් ටික කපමින් මුළු පිදුරුතලාගලම ආක්‍රමණය කරමින් සිටී. කුරුඳු ඔයේ ජාල පෝෂකවලට බට දමා කුරුඳු ඔය හිංදා, වස විස ටොන් ගසන ගසන තම වගා ඉඩම්වලට ඒවා හරවාගෙන සහ එම වගා භුමි වල පාංශු ඛාදනයෙන් මහවැලි මහා ජලාශ පුරවමින් සිටී. රොන්මඩ නිසා අද වික්ටෝරියා රන්දෙනිගල රන්ටඹේ ඇතුළු මහලෂා විශාල ලෙස පිරීගොසිනි. වලපනේ, නුවරඑළියේ සිට බොහෝ අය පානය කරන්නේ මෙසේ වස කවා මොවුන් විසින් එවන විෂ ජලයයි. (ඇපල්  ෆාම් ඉඩම් යනු 1970 දී ආදර්ශ ඇපල් වගාවකට බලපත්‍ර යටතේ වන සංරක්ෂණයෙන් ලබාදෙන ලද අක්කර 200කට අඩු භූමියකි. මේ සම්බන්ධ ඉතිහාසය සහ සම්පුර්ණ විස්තර පොස්ටුව පහත සබැඳි වල ලියා ඇත).
එදා දුප්පතුන්ට අක්කරය දෙක බැගින් තාවකාලික බලපත්‍ර ලෙස ලබාදුන් අක්කර 200ක භුමිය අද අක්කර 400 කට ආසන්න ප්‍රමාණයක් වලාකුළු වනාන්තරය හිත්පිත් නොමැතිව කපා මේ කෝටිපති අමනයින් විනාශ කර ඇත. බාර්, ඉන්ධන හල්, හෝටල්, කාර් සේල් ඇතුළු නොයෙක් නීත්‍යානුකුල සහ එසේ නොවන ව්‍යාපාර හිමි අයවලුන් අද සුවිශාල ඉඩම් කට්ටි මින් අල්ලාගෙන කම්කරුවන් සහ දුප්පත් අයවලුන් කුලියට දමා වගාකරමින් සිටින්නේ ඔවුන්ගේ ඉඩම් පැහැරගැනීමේ පලවෙනි කුරුමානම ලෙසය. ඔවුන්ගේ දෙවන තෙවන ඉල්ලක උපක්‍රම සහ අවසානයේ පිදුරුතලාගලට වෙන්නට යන්නේ කුමක්ද යන්න අප හොඳින් දනිමු. ඉඩම් කෙසේ හෝ දේශපාලන සම්බන්ධතා හරහා නීත්‍යනුකුල කරගැනීම මොවුන්ගේ අභිප්‍රායයි.
කෙසේ නමුත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දමා මොවුන් ඉවත්කරන්නට නියෝග ගෙන ඇත. එම නියෝග අභියෝගයට ලක්කරමින් මොවුන් ඇපෑල්ද දමා ඒවාද පරාජයට පත් විය. අද අවසානයේ ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හෝ මේවා පහර ගැනීමට නියෝග අභියෝගවලට ලක්කර ඇත. මා සෑමවිටම පවසන පරිදි ලංකාවේ පහල අධිකරණ විනිසුරන් බහුතරය ඉතා අගනා තීන්දු දෙන්නේය. ඔවුන් නිසි ලෙස තමා රාජකාරිය කරන්නේය. එක්කෝ ඉහළ අධිකරණ සමහරක නොසැලකිල්ල නිසා හෝ, යම් සුළු තාක්ෂණික අත්වැරැද්දක් නිසා හෝ ඉහළම අධිකරණවල කතාකිරීමට ලංකාවේ ඉහළම නම් ඇති නීතිඥයින් භාවිතයෙන් හෝ මොන සෙල්ලමක් දමමින් තම ආත්මාර්ථයට ගැලවීම සොයා ගැනීමට අපරාධකරුවන් උත්සුක වීම කනගාටුදායකය. පහල අධිකරනවලදී මරණ දඬුවම් ලද අපරාධකරුවන් ඉහළ අධිකරණවලින් නිදොස් කොට නිදහස් වීම මීට හොඳම උදාහරණය වේ. කලවානේ සර්පයාගේ සිට බොහෝ නම් මගේ මතකයට එන නමුත් එය මාතෘකාව නොවන බැවින් වැඩිදුර නොකියන්නෙමි. මෙය ලංකාවේ පොදු මහජනයා 99% කගේ මතය බව ඕනෑම අයකු එකඟ වනවා නොඅනුමානය. කෙසේ නමුත් ඇපල් ෆාම් ඉඩම් වල අභියාචනා බොහොමයක් පරාදව ඇති බවත් දැන් ඉතිරිව ඇත්තේ මා දන්නා පරිදි ලංකාවේ ඉහලම උසාවියේ තීන්දුව දෙන්ටය. එය ලංකාවේ පරිසර දිනන තීන්දුවක් වීම පරිසර හිතකාමී, අනාගත පරපුර වෙනුවෙන් පරිසර උරුමය රකින්නට වෙරදරන සියලු අමාවරුන් පියවරුන්ගේ සිට දෑ හිතකාමී මිනිසුන්ගේ ප්‍රාර්ථනය වන්නේය.
මෙසේ නඩු කටයුත්තක් පවතින ඇපල් ෆාම් එදම් ඇල්ලීමට සහ ඒවා ග්‍රහණයට ගැනීමට ගසා ඇති අලුත්ම සැලසුම ඉතාම අපුලය. එනම්, ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ අවශ්‍යතාවට ඇපල් ෆාම් ඉඩම්වලට මහාමාර්ග අමාත්‍යංශයේ මහජන මුදල් යොදවා කාපට් පාරවල් දෙකක් සැකසීමයි. ග්‍රාමීය මාර්ග කිලෝමීටර ලක්ෂයක් වැඩසටහන යටතේ මෙය කරනවා යයි කියමින් බෝඩ් ගසා ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ මුහුණත්, ලන්සාගේ මුහුණත් යොදාගෙන ගස අතේ පුවරුවේ කනාගාටුම කාරණය නම් ඊළඟට සිටින්නේ වන සංරක්ෂණ කැබිනට් ඇමතිවරයායි.
නුවරඑළියෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන වනසංරක්ෂණ ඉඩම් රකින්නට පැමිණි ඇමතිවරයාත් ඔහුගේ සහෝදරයාගේ මුහුණුත් යොදාගෙන ඇපල් ෆාම් ඉඩම්වලට කෝටිපතියන් දෙදෙනෙක් කාපට් පාරවල් ගසන්නට මහජන මුදල් අවභාවිතා කිරීම අපරාධයකි. මා මේ සම්බන්ධව දැනගත් දිනම සී බී රත්නායක මහතාගෙන් මේ සම්බන්ධව විමසුවෙමි. පාර්ලිමේන්තුවේ සිටිය නමුත් දුරකථනය ඇමතු ඒ මහතා පැවසුවේ තමන් මේ සම්බන්ධව කිසිවක් නොදන්නා  බවත්, ඔහු මීට සම්බන්ධ නොමැති බවත්ය. එපමණක් නොව ඇපල් ෆාම් ඉඩම් වන සංරක්ෂණයට අයිති බවත් වන සංරක්ෂණය යටතේම පැවතිය යුතු බවට තමන්ද එකහෙලා පිළිගන්නා  බව කීය. ඒ වන විට අදාල බෝඩ් එක ගසා නොතිබුණි.
පසුව පහත දැක්වෙන බෝඩ් එක ගසා ඩෝසර් යොදා පාර දෙපැත්තෙන් කැපීම ගිය සිකුරාදා ආරම්භ විය. මා මේ පිළිබඳව නැවතත් ඇමතිවරයා අමතා කරුණු විමසු අතර ඔහුගේ රුවද අදාළ බෝඩ් එකේ ඇති බව කීය. ඒ පිළිබඳව ඔහු නොදන්නා බවත් කරුණු සොයා මා අමතන බවත් පැවසීය. ඔහු මාවෙත අදාළ තොරතුරු ලබාදීම කෙසේ වෙතත් පරිසරය දේවත්වයෙන් සලකන අපගේ එකම අභිප්‍රාය වන සංරක්ෂණ ඇමතිවරයා ලෙස ඔහු විසින් මෙම ක්‍රියාවලිය සම්පුර්ණයෙන් නවත්වා දැමීමයි.
කෙසේ නමුත් ප්‍රදෙශවාසීන්ට අනුව අදාළ මාර්ග සංවර්ධන කටයුත්ත ආරම්භ කිරීමට පැමිණ ඇත්තේ වන සංරක්ෂණ ඇමතිවරයාගේ සහෝදරයා වන එස් බී රත්නායක මහතාය.
අදාළ වන සංරක්ෂණ ඉඩම් රක්ෂිත ලෙස පවත්වාගෙන යාමට එල්ලවන දේශපාලන බලපෑම් ඇති විශාලය. එසේම අධිකරණයට, අධිකරණ ක්‍රියාවලියට ඍජුව සහ වක්‍රව සිදුවන බලපෑම්ද විශාලය. වර්තාමන ආණ්ඩුව පැමිණි විගස, එස්  එම් චන්ද්‍රසේන මහතා පරිසර ඇමතිව සිටි සමයේ කැබිනට් පත්‍රිකාවකින් මෙම ඉඩම් ලබාදෙන්නට උත්සාහ දැරූ අතර එය වැළකී ගියේ එම උපක්‍රමය අප විසින් හෙළිකර බැවිනි. එවකද එම උපක්‍රමය පිටුපස සිටියේ නුවරඑළියේ දේශපාලනයයි. එසේම මෙහි එක් කෝටිපතියකු මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ලවාද මෙය කෙසේ හෝ කරවාගැනීමට අර අදිමින් සිටියි. පිදුරුතලාගල ඇපල්  ෆාම් සහ හම්බන්තොට අලි කලමනාකරණ රක්ෂිතයේ ඉඩම් අක්කර සිය ගණන් ව්‍යාපාරිකයින්ට දීම එකම ඉඩම් කොල්ලයේ පැතිකඩ දෙකකි.
ඇපල් ෆාම් ප්‍රදේශය යනු පිදුරුතලාගල රක්ෂිතයමය. මහවැලි ඉහළ ජලාධාර ප්‍රදෙශයමය. ලංකාවේ වැදගත්ම වලාකුළු වනාන්තරයමය. රජවරුන් ඇත තැබීමට සතුරන්ගෙන් සැඟවෙන්නට හැර පවා යන්නටවත් නොසිතු තැනය. සුද්දන් කොහේ වැවුවත්, අඩි 5000ට උඩින් බැවින් නොකැපු තැනය.
මෑතක සිරසේ වැඩසටහනකදී පරිසර අධිකාරියේ සභාපතිවරයා අඩි 5000 න්  ඉහල ඉඩම් සියල්ල ආරක්ෂා කර වනාන්තර ලෙස පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය යයි පවසනු දුටුවෙමි. රටේ ජල සංරක්ෂණය වෙනුවනේ එය කොතරම් වැදගත්ද යන්න රජය අභෝධකරගත යුතුය. පිදුරුතලාගල ඉහළ ජලාධාරය රැක නොගෙන සුරකිමු ගංගා වැඩසටහන් ක්‍රියාත්මක කළ නොහැකිය. මිලියන දහස් ගණන් වෙන්කර ඇති මෙවැනි ව්‍යාපෘති විහිළු වන්නේ එම ගංගා වලම ජලපෝෂක වැනසෙන්නේ නම්ය. එම නිසා ජානාධිපතිතුමා, පරිසර ඇමතිතුමාගේ සිට සියල්ලන්ටම මහවැලි ඉහළ ජලධාරය වන පිදුරුතලාගල ආරක්ෂා කොට සුපෝෂණය කිරීමේ වගකීම පැවරෙන්නේය. එසේ නොමැතිව කරන සුරකිමු ගංගා යනු තවත් එක් සුදු අලියෙකු පමණි.
ග්‍රාමීය මාර්ග සංවර්ධනය කරන්නේ නම් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඕනා තරම් ඇත්තේය. අදටත් නුවරඑළියේ සියලු ඇමතිවරුන්ගේ බල ප්‍රදේශවලින් නිසි ලෙස පාරවල් නොමැති ගම්මාන අප්‍රමාණය. අදටත් ලී කදක බැඳගෙන රෝගීන් ගෙනයන ගම්මාන වලපනේ ඇත්තේය. එවැනි පාරවල් සහ ගම්මාන වල පින්තුර පහත දැක්වෙන්නේය. පවුල් පනහ හැටේ සිට සිය ගණන් පවුල් සිටින නිසි පාරක් නොමැති ගම්මාන ඕනා තරම් තිබියදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ අවශ්‍යතාවට ඇපල්  ෆාම් ප්‍රදේශයේ අනවසර ඉඩම්වලට කාපට් පාරවල් ගැසීම ජාතික අපරාධයකි. කෝටිපති ව්‍යාපාරිකයින් වෙනුවෙන්, ඔවුන්ගේ ඉඩම් කොල්ලයට සහයට ජනතා බදුමුදලින් පාරවල් සෑදීම අපරාධයකි. ඔවුන්ට වන සංරක්ෂණයෙන් අවසර නොලැබෙන අනවසර ක්‍රියාවක් වන සංරක්ෂණ ඇමතිවරයාගේ මුහුණ යොදාගෙන කිරීමද අපරාධයකි. එසේම නඩුවක් පවතින කාරණයක, අධිකරණය නොසලකා අදාළ වගඋත්තර කරුවන්ගේ සහයට ඔවුන්ට ඉඩම්වලට කාපට් පාරවල් සාදාදීම අපරාධයකි. එමගින් මෙම ප්‍රදේශය සංවර්ධනය වී ඇතයිද, රජයෙන්ම ව්‍යාපෘතියක් සිදුකරන භුමියකියි කියා අධිකරණයට වක්‍රව බලපෑම් කිරීම අපරාධයකි. අවසාන වශයෙන් නිල හෝ නොනිල වශයෙන් වන සංරක්ෂණ ඇමැතිවරයා හෝ ඔහුගේම සහෝදරයා මෙම ජාතියේ හිස්මුදුනේ වන භුමි කොල්ලකන්නවුන්ට සහය දෙන්නෙම එය සහගහන හෙනවදින අපරාධයකි.
එසේ නොමැතිනම් මෙම රජයේ වසර 5 ගෙන්වෙන්නට පෙර මෙම ඉඩම් වන සංරක්ෂණයේ පුර්ණ අයිතියට ගෙන පිදුරුතලාගල අනවරතේ වනසා දමන ලද වලාකුළු වනාන්තරය වැඩෙන්නට ඉඩ හැරිය  යුතුය. එසේත් නොමැතිනම් ප්‍රතිවන රෝපණයට ජනාධිපතිතුමා වෙන්කරන ලදැයි කියන මිලියන 3000 න කොටසක් ගෙන මෙය වලාකුළු  වනාන්තරයක් කොට රටටම වැස්ස දෙන, ජල සුරක්ෂිතතාව සලසන, සුරකිමු ගංගා යටතට එන ගංගා සුරකින සුන්දර වන වැස්මක් බවට පත්කළ  යුතුය. එයට අප බලකළ යුතුය.
ජෝස්න්ටන් වේවා සී බී වේවා වෙනත් අයෙකු වේවා ජාතික සම්පත් වසන්නට දිය නොහැකිය. මේවා අපේ දරුවන්ගේ සම්පත්ය.
ඒවා කෝටිපතියන්ගේ බුදල් නොවේ.
දේශපාලකයින්ගේ හිතමිත්රාදීන්ගේ උරුමය නොවේ.
මේ අපෙත්, අපගේ දරුවන්ගේත්, අනාගත ශ්‍රී ලාංකිකයින්ගේත් අමිල සම්පත් වේ.
එය රැකගැනුමට ඔබ දැන්වත් ශක්තිමත්ව පෙරට ආ යුතුය !

Spread the love

Leave a Comment

You may also like