වෙනත්

තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කර්යාල නිළධාරීහු කොරෝනා අස්සේ ගරානාවක….!!

Spread the love

කෝවිඩ්19 ආපදාවෙන් පීඩාවට පත්ව සිටින සහ ඒ හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින අඩු ආදායම්ලාභීන්ට, රජයෙන් ලබා දෙන රු. 5000 දීමනාව හොරා කන නිලධාරීන් පිරිසක් තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධව සේවය කරමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.
මෙම නිලධාරීන් අතර, සමෘධි සංවර්ධන නිළධාරීන්, ග්‍රාමසේවකවරුන් මෙන්ම සංවර්ධන නිළධාරීන් ද සිටින බව ඔව්හූ පවසති.
කොරෝනා වසංගතය ඇති වූ පළමු අවස්ථාවේදී ක්‍රියාත්මක කළ
රු. 5000 ලබාදීමේ වැඩසටහනේ දී, ඇතැම් අසරණ පවුල් වලට එකී මුදල් ලබා දුන් බවට හොර අත්සන් යොදා එම මුදල් , සමෘධි සංවර්ධන නිළධාරීන් විසින් විශාල ලෙස හොරා කා ඇති බවට හෙළිවී තිබේ.
මේම වංචාව හෙළිවී ඇත්තේ කොරෝනා දෙවැනි රැල්ල වෙනුවෙන් රු. 5000 බෙදාදීම සිදුවෙමින් පවතින මේ අවස්ථාවේදීය.
සමෘධි සංවර්ධන නිළධාරීන් විසින් මෙම මූල්‍ය වංචාව සිදු කොට ඇත්තේ, ඇතැම් ග්‍රාමසේවකවරුන් සහ සංවර්ධන නිළධාරීන්ගේ ද  දැනුවත් භාවය ඇතිවය.
බම්බලපිටිය, මිලාගිරිය, කොල්ලුපිටිය , වනාතමුල්ල සහ දෙමටගොඩ වැනි ග්‍රාමසේවා වසම් තුළ මේ වංචාව ජයටම සිදුවී ඇතැයි වාර්ථා වේ.
ඉහත සඳහන් ග්‍රාම සේවා වසම් තුළ පසු ගියදා සිදු කරන ලද රු. 5000 බෙදා දීමේ අවස්ථාවට මුදල් ලබා ගැනීමට පැමිණි බොහෝ පිරිසක් , පළමු කොරෝනා රැල්ල පැවැති අවස්ථාවේ රු. 5000 බැගින් දෙපාරක් තමන් මුදල් ලබා ගෙන ඇති බවට සටහන් වී ඇති බව දැනගත් පසු විශ්මයට පත්වී ඇත.
තමන්ට ගියවර ලබා දුන්නේ රු. 5000ක් පමණක් බව පැවසා අැති ඔවුන්,  ඉතිරි රු. 5000 හොර අත්සන් ගසා නිළධාරීන් විසින් හොරා කා ඇති බව  එම අවස්ථාවේ මුදල් බෙදාදීමට පැමිණ සිටි නිළධාරීන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඇත.
බම්බලපිටිය සහ මිලාගිරිය යන ග්‍රාමසේවා වසම් දෙකෙහි කටයුතු කරන ඉන්දික නමැති සමෘධි සංවර්ධන නිළධාරියා විසින්  පළමු වටයේදී පමණක් මෙලෙස වංචා කොට ඇති මුදල් ප්‍රමාණය රු. ලක්ෂ දෙකකට වැඩි බවට මේ වනවිට හෙළිදරව් වී ඇත.
මෙතරම් වංචාවක් සිදු කොට ඇති මෙම නිළධාරියාට එරෙහිව කිසිදු නීතිමය හෝ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුලු ඉහළ නිළධාරීන් කිසිවෙකු මෙතෙක් ක්‍රියා කොට නැත.
මේ වන විට අදාල ඉන්දික නමැත්තාට වනාතමුල්ල ග්‍රාමසේවා වසමේ සිටින අඩු ආදායම්ලාභීන්ට රු. 5000 බෙදාදීමේ වගකීම පවරා ඇත.
එම වසමේ සංවර්ධන නිලධාරියා ලෙස කටයුතු කරන සුගත් ජයසේන නමැත්තාද තමන්ගේ රාජකාරි නිසි පරිදි ඉටු නොකරන නිළධාරියෙකු බව එම වසමේ ජනතාව පවසති.
මෙම සංවර්ධන නිලධාරියා තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන්නේ, ඔහු උපකාරක පංති පවත්වාගෙන යන්නෙකු නිසා බව ජනයා පවසති.
කොරෝනා වසංගතය පැමිණෙන්නට පෙර වුවත්, ඔහුව මුණගැසීමට කාර්‍යාලයට පැමිණි කිසි අවස්ථාවක ඔහුව මුණගැසීමට නොහැකි බව පවසන ප්‍රදේශවාසීහු, ඔහු කාර්‍යාලයට පැමිණ, පැමිණීම ලකුණු කොට කොළඹ අවට ඇති උපකාරක පංතිවල ඉගැන්වීමේ කටයුතු සඳහා යෑම ඔහුගේ දිනචරියාව වී ඇති බව ඔව්හු පවසති.
මේ තත්ත්වය මත වනාතමුල්ල වසමේ රාජකාරි කරන අනෙක් නිලධාරීන් ඔවුන්ට රිසි පරිදි හොරා කන බවත්, එම සොරා කෑමට අවශ්‍ය ලිපි ලේඛණ සඳහා සංවර්ධන නිළධාරියා ලෙස සුගත් ලියනගේ නමැතා සිය අත්සන යොදන බවත් එම වසමේ ජනයා කියා සිටී.
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අනුබද්ධව සේවය කරනු ලබන මෙම නිළධාරීන්ගෙන් ඇතැමුන්ට , දැනට සේවයේ යොදවා ඇති මගී ප්‍රවාහන බස් රථ පවා අැති බව ජනතාව පවසති.
අහිංසක ජනතාවට ලබා දිය යුතු ජනතා මුදල් හොරා කන මෙම නිළධාරීන්ට එරෙහිව කොළඹ දිසාපති, ප්‍රාදේශීය ලේකම් ඇතුලු ඉහල නිළධාරීන් කිසිවෙකු කිසිදු පියවරක් නොගන්නේ දේශපාලන බලපෑම් නිසා යැයි ජනතාවගේ මතය වී තිබේ.
ආරක්ෂක  ලේකම්වරයා ස්වදේශ කටයුතු සහ රාජය පරිපාලන අමාතයාංශයේ කාර්යාලයක් පවත්වාගෙන ගියද, එම ගොඩනැගිල්ලේම තිබෙන තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සිටින මෙම හොරා කන්න වුන්ව මට්ටු කිරීමට ඔහුට නොහැකි වී ඇත.

Spread the love

Leave a Comment

You may also like