අද අපේ රටේ නිදහස් දවසයි.මව්බිමේ නිදහස් දවස සිහිපත් කරන මේ අභිමානවත් දිනයේ ලංකා දවසට අවුරුදු 08 ක් පිරේ.අට අවුරුදු කාලයක් අන්තර්ජාල පුවත්පතක් ලෙස රැදී සිටීමද ලේසි පහසු කාර්යයක් නොවේ.එහෙත් ලංකා දවස ඒ ගෙවී ගිය කාලය තුළ ස්වාධීනව සිය කාර්ය භාරය ඉටු කරන ලද්දේය.ගෙවී ගිය කාලය ඉතා දීර්ඝ වූවා සේම මේ කාලය තුළදී ලංකා දවසට ගැරවුම් වලටත් කටුක වුත් අශ්ශීල වූත් බොහෝ අත්දැකීම් වලටත් මුහුණ දීමට සිදු විය.
එහෙත් ලංකා දවස ඒ සියල්ලටම මුහුණ දෙමින් හිස කෙළින් තබා ගෙන ස්වකීය කාර්ය භාරය ඉටු කරන ලද්දේ ලංකා දවස ඉතා ලෙන්ගතුව වැළඳ ගත් සහෝදර පාඨකයන් ගේ නිරන්තර ආශීර්වාදය නිසාය.ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ජනතාව භුක්ති විඳිය යුතු දේපොළකි.ලංකා දවස නිතරම සිටියේද ජනතාව වෙනුවෙනි.ලංකා දවස එහිදී ජනතාවගේ බුද්ධිය අවදි කරන ක්‍රියා දාමයක නිරත විය.ඇතැම් කාල වලදී එය ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස සාක්ෂාත් කර ගැනීම සඳහා වූ අරගලයක් බවට පත්වූ බවද කිව යුතුය.සමහර අවස්ථාවලදී ආත්මාර්ථකාමී දේශපාලනික වුවමනාවන්
යොදා ගනිමින් ආණ්ඩුව පොදු මහජනතාවට එරෙහිව සිදු කළ හිංසනයන්ට එරෙහිව ලංකා දවස කොන්දේසි විරහිතව පෙනී සිටියේය.ලංකා දවස එම කාර්යය ඉටු කරන ලද්දේ සිය පෞද්ගලිකත්වය හා දැන හැදුනුකම් පසෙකට දමමිනි.මේ නිසාම ඇතැම් අවස්ථාවලදී ලංකා දවසේ පරිපාලනයට අත් වූ අලාභයද බොහෝය.
එහෙත් ඒ සෑම අලාභයක්ම ලංකා දවසේ ගෞරවණීය අභිමානයට හේතු වන චරිත සහතිකයක්ම විය.
පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් දිනා ගත යුතු යැයි අපේක්ෂා කළ විශිෂ්ට සම්මතයන් පිළිබඳව වූ කිසියම් ආකාරයක බලාපොරොත්තුවක් ලංකා දවසට තිබුණි.ඒ සියළු බලාපොරොත්තු ජයග්‍රහණය කරමින් අවසන් වූ අවස්ථාවන්ද ඉටු කර ගත නොහැකි වූ මොහොතවල්ද පැවතුණි.නුමුත් ඒ සෑම හෝරාවකදීම ලංකා දවසට වැදගත් වූයේ පාඨකයන් වූ සහෘදයන්ය.ඔවුන්ගේ දිරි ගැන්වීම නිරන්තරයෙන් ලංකා දවසේ අභියෝගාත්මක කාර්යයට පිටු වහලක්ම වූ බව නම් ලියා තැබිය යුතුය.පාඨක සහෘදයන් ගේ ලෙන්ගතු විනිශ්චයන් පිළිබඳව ලංකා දවස විශ්වාසය තැබුවේය.
පසුගිය මැතිවරණදී ලංකා දවස පෙනී සිටියේ ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය වෙනුවෙනි.සැබැවින්ම එය දේශපාලනික පක්ෂපාතිත්වය නිසා නොවේ.රට ඉතා වැටී තිබුණ ඛේදජනක ප්‍රපාතය ඉතා කණගාටුදායක විය.ඒ වටපිටාව තුළ ලංකා දවසට අනිවාර්ය වගකීමක් පැවරී තිබුණි.ඒ ජනතාව වෙනුවෙන් සිටිය යුතු නිවැරිදි වේදිකාව කුමක්ද යන්න තීරණය කර ගැනීමය.
එහිදී ලංකා දවස තෝරාගත්තේ ජාතක ජන බලවේගයේ දේශපාලන ප්‍රකාශණයයි.ජාතික ජන බලවේගය මේ වන විට අප මව්බිමේ දේශපාලනික බලය හසුරවමින් සිටී.ගෙවී ගිය දින ගණන තුළ ජාතික ජන බලවේගයේ මැදිහත් වීම් පිළිබඳව ලංකා දවසට තෘප්තිමත් විය හැකිය.එහෙත් ඒ තුළ වැරදීම්ද පවතින බව ලංකා දවසට දැක ගත හැකි විය.එම වැරදීම් ගැන ලංකා දවස විවේචනය කිරීමටද අනාවරණය කරන්නට පසුබට නොවීය.එම විවේචනයන් හා ඇතැම් අනාවරණය කිරීම් ඇතැමුන්ට දරා ගත නොහැකි වූ බවද ලංකා දවස දනී.එහෙත්
ඒ සෑම අවස්ථාවකම ලංකා දවස පෙනී සිටියේ කුඩුකේඩු අගතිගාමී මැදිහත් වීමක් සඳහා නම් නොවේ.ලංකා දවස නිරතුරුව එහිදී අපේක්ෂා කරන ලද්දේ ජාතික ජන බලවේගයේ ආරක්ෂාවයි.
පාර්ලිමේන්තුව ඒක පුද්ගලවාදයේ හෝ ඒකාකාරිත්වයේ නිර්මාණයක් නොවන බව ලංකා දවසේ විශ්වාසයයි.අන් මත ඉවසීමේ හා විවිධත්වයේ නිර්මාණයක් වීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි.එම සම්ප්‍රදාය මෙරට නැවත පණ ගැන්වීමටත් ප්‍රබෝධමත් කිරීමත් වෙනුවෙන් ලංකා දවස පෙනී සිටියේය.ඒ ගැන කිසිදු සැකයක් ඇති කර ගත යුතු නැත.ලංකා දවසේ ඉදිරි කාර්ය භාරයද ඒ ආකාරයෙන්ම ඉටු කරනු ඇති බවට ශපථ කළ හැකිය.අට අවුරුද්දක් තිස්සේ ලංකා දවස හා ලෙන්ගතුව බැඳී සිටි ඔබ සැම ලංකා දවසේ වටිනා හා ආඩම්බර කාර සම්පතයි.
මේ සිහිපත් කිරීමේ ලියවිල්ල රවීන්ද්‍රනාත්
තාගෝර්ගේ පද පෙලක් උපුටා අවසන් කරමු.
.”.අපි අපේ කඳුළැලි සදහට පිසදා හළෙමු
සිත් පෙලූ අවමන් අතීතයට එක් කළෙමු
උරෙන් උර ගැටුණු සහෝදරත්වය දකිත්ම
උද්දාමයෙන් පිබිදුනු අපේ ළය ගැබ මත
අලුත් බලාපොරොත්තු දැල් වෙයි….”
ලංකා දවසට අවුරුදු අටයි