නුවරඑළියේ ක්රිකට් ගසන්නට ගිය මහින්ද රාජපක්ෂ පිත්ත ඔසවා හයේ පාරක් ගසන දර්ශනයක් සමාජ මාධ්ය වල පියාඹමින් තිබේ.එම හයේ පාරෙන් ජාතියට අමුතුම ජාතියේ සිහිපත් කිරීමක් කර ඇති බව පැහැදිලිය.
ඒ අපේ අප්පච්චී හොඳ සනීපයෙන් බවය.ඔහුට ඉහෙන් බහින රෝගයක් නැති බවය.අප්පච්චී ගැන කට කැඩිච්ච කතා කියන උන්ට හෙණ ගහන්නට ඕනෑය.කොටින්ම කියනවානම් අපේ අප්පචීචි තවම හොඳ ෆිට් එකේය.
එහෙත් මෙතැන පොඩි අප්සෙට් සීන් එකක් පෙනෙන්ට තිබේ.ඒ අප්පච්චී පැවිලියන් එකට වාඩි වෙන්නට එන විට ඇවිදින්නේ ෂොකට් ෂෝබර් ගිය තාලයෙනි.ඒත් අර හයේ පාර නිසා ඒ ගැන කවුරුත් හිතන්ට ඕනෑ නැත.
පොහොට්ටුවන් අප්පච්චී ක්රිකට් ගහන්නට නුවරඑලියට කැඳවා ගෙන යන්නේ එසේ මෙසේ සෙල්ලමකට නොවේ.අප්පච්චී තවම හොඳ ෆිට් එකේ ඉන්නා බවට පෙන්නන්නට පොහොට්ටුවන් මේ වලි කන්නේ අළුත් සෙල්ලමකටය.පොහොට්ටුවන්ගේ කුල්ල කුජීත වී තිබෙන දේශපාලනයේ පණ කෙන්ද රැඳී ඇත්තේ මහින්ද රාජපක්ෂගේ පංචස්කන්දය අස්සේය.ඔහු නාකි මයිනා ලෙස හඳුන්වන එවුන්ද කතාව අවසන් කරන්නේ මොනවා වුනත් රට බේරාගත් එක ගැන මහින්ද රාජපක්ෂට රැස්පොට් කරනවා කියමිනි. බැරි මරගාතේ හරි අප්පච්චී ගෙන්වා ඔහුට පිත්ත අතට දී බෝලය පිත්තට දමා හයේ පාරවල් ගස්සන්නේ අන්න ඒ රැස්පොට් එක හරහා පොහොට්ටු දේශපාලනය යලි ගොඩ දාගන්ටය.
දැන් මේ රටේ දේශපාලනය සිද්ධ වෙන්නේ මාර ප්ලෑන් එකටය.මැච් ගහන්න නුවරඑළි නොගියාට රනිල් හාමු ඉන්නේත් පොහොට්ටුවන්ගේ ෂපෝට් එකටය.සෙන්න පුපේ කූ නැතිව ලතවෙන පවුල් අහුරු අහුරු බෝ වෙන සමාජයක ඔළුවට 13 ඔබන්නට හාමු දඟලන්නේ ඒ ෂපෝට් එකටය.කන්න නැතෑ අපේ රටේ වුන් මවුබිමට ආගමට ජාතියට හරිම ලව්ය.දැන් හාමු 13 උඩට උස්සා කලිසම පහතට දාගන්නා විට බඩගින්නට පිඟාන අරගෙන පෝලිමේ හිටිය දේසප්රේමීන් රට රැකගන්නට සෙට් වෙනවාය.දැන් ඉතින් බඩගින්නට බ්රේක් එකක් ලැබී තිබේ.ඒත් රට රැකගන්නට ලීඩර් කෙනෙක් ඕනෑය.
රනිල් හාමු ගේ කට්ට කයිරාටික ගේම් එක ඇත්තේ අන්න ඒ හිස් තැනය.රනිල් හාමු දැන් පිටියට දමා තියෙන 13 ට විරුද්ධව මෙචිචර දවසක් බංකර් වල හැංගී හිටිය සිවුරු කාරයන් එළියට වැඩම කර තිබේ.තව ටික දවසකින් විමලේ ගොම්මන්පිල ආදීන් හා වාචාල සිල්ලර කෑලි ටිකක්ද ඒ පෙළපාලියට සෙට් වෙනු ඇත.රනිල් හාමුට විරුද්ධ මේ සැට් එක අප්පච්චී ගේ ඔඩොක්කුවේ වෙනදා විදියට නැළවෙන්නට කැමති අයවළුන්ය.
රනිල් හාමුට ඕනෑ කරන්නේත් ඒ ටිකය.ඊළඟ ජනාධිපතිවරණය එන විට මේ බලමුළු ෆිට් එකේ තියා ගන්නට රනිල් හාමුගේ කල්පනාවය.රනිල් හාමු වැල් පාලමේ යන ගමන් ලයින් කරන්නේ ඒ දේශප්රේමී ලව් එක ලැව්ගින්නක් විදියට ඇවිලවීමටය.
ලාස්ට් ගේම් එකේදී ජනතාවගේ ඔළුවේ තිබෙනු ඇත්තේ රට බේරා ගන්නේ කොහොමද කියා මිසක බත් පත ගැන නොවනු ඇත.ඉන්දියාවේ මෝදිටද ඇමරිකාවේ බොසාටද ඕනෑ කරන්නේද ඔය ටිකමය.ඒ උන්දෑලාගේ ඔප්ෂන්
ඇත්තේ රනිල් හාමු හරි අප්පච්චී ගාව මිස වෙනින් කවුරුත් ගාව නොවේ.
කෝ ඉතින් කවුද මේ උන්දැලාගේ ලීඩර් යැයි කාට හරි හිතෙන්නට පුළුවන.
ඔන්න ඔය ප්රශ්ණයට උත්තරය තියෙන්නේ නුවරඑළියේදී අප්පච්චී පිත්ත උස්සා ගැසූ හයේ පාරේය.රට බේරා ගන්නට ඉන්නා ලීඩර් අතරේ හොඳම සැටිෆිකට් එක තියෙන්නේ අප්පච්චීටය.රනිල් හාමු ගේ 13 ට විරුද්ධව සටනට දාන්නට පුළුවන් හොඳම ලීඩර් අප්පච්චී බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.අප්පච්චී හොඳ ෆිට් එකේ ඉන්න බවට පොහොට්ටුවන් පෙන්නන්න හදන්නේ ඒ නිසාය.
බැසිල් උන්නැහේ රනිල් හාමු සමග ගානට ගේම ප්ලේ කරමින් සිටී.පොහොට්ටුවන් ගේ බඩජාරීන් කිහිප දෙනෙක් දැන් රනිල් හාමුගේ පැත්තේය.ඒ බැසිල් උන්නැහේ තියා ඇති මී කතරක් මිස වෙන ලබුවක් නොවේ.
ඒ මී කතුරට අහුවෙන වුන්ට යන එන මං නැති වෙන හැටි හෙට අනිද්දාට බලා ගන්නට පුළුවන.
රනිල් හාමු යනු අප්පච්චීගේ කලිසම් ටයි සූට් ඇඳි අවතාරයයි.රටේ ජනතාව තේරුම් ගත යුත්තේ අන්න ඒ කතන්දරයයි.දැන් රනිල් හාමු පිටිය හදමින් සිටින්නේ ඊළඟට බලය දිය යුත්තේ කාටද යන්න තීරණයේ ඉඳගෙනය.
අප්පච්චීත් රනිල් හාමුත් දිනේෂ් ගුණවර්ධන හාමුත් කරට අත දාගෙන සින්දු කියමින් නටමින් සිටී.
අපි ඔක්කොම යාළුෑ
රෑට කන්නෙ මාළුෑ
ඉතිං අපි අත්පුඩි ගහමු.
අපි ඔක්කොම යාළුෑ- රෑට කන්නෙ මාළුෑ
