අමාත්‍ය මණ්ඩලයේ සාමූහිකත්වය බිඳ දමා ඇතැයි කියවෙන චෝදනාවකට ලක් වී සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හට තමා හමුවී ඒ සම්බන්ධව නිදහසට කරුණු දක්වන ලෙසට ජනපතිවරයා විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.ජනපති කාර්යාලීය ආරංචි මාර්ග වල දැක්වෙන්නේ ඊයේ (4)දින පස්වරුවේ ජනපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත ඒ බව දැනුම් දුන් බවය.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහට එරෙහිව අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය බිඳ දමා ඇතැයි චෝදනාවක් එල්ල වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේදී ඇතිවූ සාකච්ඡාවක තොරතුරු අනාවරණය කරමින් මාධ්‍ය
සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳවය.
එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින වියලි කාල ගුණය හමුවේ ජලාශවල ඇති ජලය වගා කටයුතු සඳහා මුදා නොහැරීමට ගෙන ඇති තීරණයට ගොවියෙකුගේ පුත්‍රයකු ලෙස තමා කණගාටුවන බවය.මෙලෙස ජලය මුදා නොහැරීම නිසා ගොවිතැන් කටයුතු විනශයට පත් වීමෙන් ගොවි ජනතාවට මිලියන ගණනාවක හානියක් සිදු විය හැකි බවද ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.
ජලාශවල ඇති ජලය මුදා හැරීම පිළිබඳව අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ මේ අවස්ථාවේ විදුලි බල ජනනය සඳහා ඇති සීමිත ජල ප්‍රමාණය වගාවන් සඳහා මුදා හැරිය විට ජල විදුලිය ජනනයට බාධා ඇති වන බවත් එම තත්වය හේතු කරගෙන දිනකට පැය ගණනාවක් විදුලි කප්පාදු කිරීමට සිඳුවන බවත් ඒ නිසා එම ජලය ආරක්ෂා කරගෙන ගොවියන්ට සිදුවන වගා හානියට වන්දි ගෙවීමටය.
එහෙත් අමාත්‍ය මණ්ඩලය ගත් මෙම තීරණයට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය සාකච්ඡාවකදී කරුණු දැක්වීම අමාත්‍ය මණ්ඩලයේ සාමූහික බැඳීමට එරෙහි වීමක් බවට අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙකු ජනපතිවරයාට පැමිණිලි කර තිබේ.ඔවුන් ජනපතිවරයාට පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා හිතාමතාම ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයට අමාත්‍ය මණ්ඩල සාමූහිකත්වය උල්ලංඝනය කර ඇති බවය.අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වන ජනපතිවරයා විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත්තේ ඉන්පසුවය.
ක්‍රීඩා අමාත්‍යවරයා හෘද සාක්ෂියට එකඟව ගොවි පුත්‍රයකු ලෙස තමන් ප්‍රකාශ කරන ලද ස්ථාවරයේම රැඳී සිටින්නේද නැතිනම් ජනපතිවරයා ගෙන් සමාව ගන්නේද යන්න ඉදිරි කාලයේදී අසන්නට දකින්නට ලැබෙනු ඇත.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ හිට් විකට් වෙයිද