රනිල් හාමුගේ හයිබ්‍රිඩ් ආණ්ඩුව ගැන රටේ ජනතාව ඉන්නේ දෙංඥං උඹලට වෙලාවට ජම්බු අදහසිනි.මාධ්‍ය වාර්තා කරන ආකාරයට පොදු ජන පෙරමුණ හා රනිල් රාජපක්ෂ ජනපතිවරයා අතර ආරවුලක් මතු වී තිබේ.මාධ්‍ය අනාවරණය කරන ආකාරයට මෙවැනි ආණ්ඩුවේ දෙපාර්ශවය අතර ආරවුලක් පවතීද යන්න හා එය ඇත්තද යන්න ගැන අපට සැකයක් පවතී.
රනිල් හාමු දේශපාලන ෆැන්ටසියක ජීවත්වන උද්දච්ච නායකයෙකි.
කොටින්ම කියතොත් ඔහු කිව්ව නාහන කෙනෙකි.දේශපාලන ගෝල බාලයන් බදාගෙන ඉඹ කරට අත දාගෙන උඹ ඉතිං අපේ එකෙක් යැයි ඒකා චූන් කරන පුරුද්ද රනිල් හාමුට නැත.අඩුම ගානේ සුහදතාව පෙන්වීමට සිය අනෙකාට අතට දීමටවත් රනිල් හාමු අකමැතිය.
මහින්ද රාජපක්ෂ හා රනිල් හාමු අතර පවතින්නේ ගජ මිතුරු සම්බන්ධතාවකි.
එය අද ඊයේ ඇති වූවක්ද නොවේ.සිය රැළේ සිටි ඩලස් අලහප්පෙරුම පොළොවේ ගසා රනිල් හාමුට ජනපති කප් එක දිනා ගන්නට මග පාදා දෙන්නේ මේ ගජ මිතුරු සම්බන්ධතාවයි.
මේ වන විට එජාප පොහොට්ටු හයිබ්‍රිඩ් ආණ්ඩුව තියෙන්නේ හෙල්ලෙන දතක් වාගේය.රනිල් හාමු ගේ කෙරුවාව ගැන
පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් පවතීනම් ඒ අර්බුදයට ආණ්ඩුව කෙසේ මුහුණ දෙන්නේද යන්න අවධානයට ගත යුතු කාරණයකි ආණ්ඩුවේ ඇරඹී ඇති මේ අර්බුදයට සමගාමීව සමාජය තුළ දේශපාලනිකව ඉහළට එසවෙමින් තිබෙන ජාතික ජන බලවේගයේ රැල්ල ගැන ආණ්ඩුවේ සියළු පාර්ශවන් තුළ ඇත්තේ බරපතල තිගැස්මකි.එහිදී ආණ්ඩුවට හා පොදු ජන පෙරමුණට සජිත් ගේ සමගි ජන බලවේගය පිළිබඳව බියක් සැකක් නැත.අනාගතයේදී සමගි ජන බලවේගය හා බල හුවමාරුවකට වුවද පොදු පෙරමුණ කිසිම අකමැත්තක් නැති බව පැහැදිලිය.
ජාතික ජන බලවේගය මේ වන විට බිලි බා ගෙන ඇත්තේ බිම් මට්ටමේ සිය පාක්ෂිකයන් බව පොදු ජන පෙරමුණ දැනුවත්ය.මේ වන විට පොදු ජන පෙරමුණේ බිම් මට්ටමේ ඡන්ද පදනම ඉතා බරපතල ආකාරයෙන් බිඳ වැටී හමාරය.එම වටපිටාව තුළ පොදු ජන පෙරමුනට ඇති විකල්පය සමගි ජන බලවේගය තුළට වැදීමය.එහිදී ප්‍රශ්ණයක් තිබේ.ඒ රාජපක්ෂ පවුලයි.සමගි ජන බලවේගය රාජපක්ෂවරුන් හා සහවාසයකට ගොස් සිය දේශපාලන කන්‍ය භාවය කෙලසා ගනු ඇතැයි කිසිසේත්ම නොහැකිය.අනාගතයේදී පොදු ජන පෙරමුණේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රාජපක්ෂ නිකාය හැර යනු ඇති බව නම් ස්ථිරය.ඒ හැර යාමේ අවසන් නවාතැන වශයෙන් ඔවුන් තෝරා ගනු ඇත්තේ ඩලස් පිල හෝ සමගි ජන බලවේගය වන්නට ඉඩ තිබෙි.ඩලස් පිල මේ වන විට සමගි ජන බලවේගය සමග පූට්ටු වීමට සූදානම්ව සිටී.
රාජපක්ෂ වරුන් ලේසියෙන් සිය දේශපාලනික බලය අත් හැර නොයන බවද විශ්වාසය.ඔවුන් සිය බලය ආරක්ෂා කර ගැනීමට විවිධ දහම් ගැට ගසනු නිසැකය.දැන් වේදිකාව තුළ මතු වෙමින් තිබෙන ජවනිකා රාජපක්ෂ වරුන්ගේ ඉදිරි දේශපාලන බලය ආරක්ෂා කිරීම සඳහා වන ආදේශකයන් බව අපට සැකයක් පවතී.
රාජපක්ෂවරුන් බලයට ඒම සඳහා නිතරම භාවිතා කරන ලද්දේ ජාතිය හා ආගමයි.දැන් සමාජය පුරා සිංහල බෞද්ධකම පිළිබඳව හීනි කතා බහක් ඇවිලෙමින් තිබේ.රාජපක්ෂවරුන් හැර ගිය ගමිමන්පිල,විමල් වීරවංශ ආදීන් මේ වනවිට මෙරට ආර්ථික අර්බුදය පිළිබඳව කතා කිරීම අත් හැර සිංහල බෞද්ධකම ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටී.රාජපක්ෂවරුන් ගේ සංඝ බලකායේ මැදගොඩ අභයතිස්ස,එල්ලාවල මේධනන්ද,ඥානසාර ආදීන්ද සිවුර ගන්නාගෙන සටනට බසින්නට සූදානමිනි.මෑතකදී රනිල් රාජපක්ෂ ජනපතිවරයා කුරුන්දන් විහාරයේ ඉඩකඩමි ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ සියල්ලන් කෝපයට පත් වී සිටී. ඒ අතරේ ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට එරෙහිව සරත් වීරසේකර මන්ත්‍රීවරයා දැඩි ස්ථාවරයක සිට ප්‍රකාශ නිකුත් කරම්න් සිටී.
ආගමික උන්මාදය බරපතල ලෙස එන්නත්කරණය වී ඇති මේ සමාජය පිළිබඳව ජනපතිවරයාට අදහසක් නැතැයි සිතන්නටද බැරිය.එසේ නම් ඔහු කුරුන්දන් විහාරයේ ඉඩම් සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්ට එරෙහිව යන තීන්දුවකට එළඹියේ මන්ද යන්න ප්‍රශ්ණ සහගතය.මේ ප්‍රශ්ණය ලිහා ගැනීමේදී අපට විවිධ පැති ගැන සාකච්ඡා කළ හැකිය.ජනපතිවරයා පොදු ජන පෙරමුණේ සිංහල බෞද්ධ පදනමට කොනිත්තා ඇතැයි යමෙකුට කිව හැකිය.තවත් අයෙකුට ජනපතිවරයා හෘද සාක්ෂියට එකඟව මෙවැනි තීන්දුවකට එළඹෙන්නට ඇතැයි පැවසිය හැකිය.එලෙසම රාජපක්ෂ කඳවුරට වාසියක් අත් වන ආකාරයට ජනපතිවරයා පිටියට තුරුම්බුවක් අත හැර තිබෙන බව තව කාට හරි කියන්නට පුළුවන.ඒ කාට කාටත් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් තිබෙන්නට පුළුවන.
එහෙත් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බලය තුළ රැඳී සිටින ජනපතිවරයා සිය හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා යැයි අපට කිසි සේත්ම සිතන්නට නොහැකිය.මේ ජවනිකා නිර්මාණය වෙමින් පවතින්නේ ජාතික ජන බලවේගය සංවිධානය කරමින් සිටින ජනතා රැල්ල සිංහල බෞද්ධ කෙමනට හසු කර ගැනීමට බව අපගේ විශ්වාසයයි. අප විශ්වාස කරන විදියට පොදු ජන පෙරමුණ හා රනිල් හාමු අතර පවතින දීගය ඉදිරියටත් ස්ථිරව පවතිනු ඇත.සමාජය ගිණි කනා වැටෙන මල් වෙඩි පත්තු කරමින් රනිල් හාමු හා රාජපක්ෂවරුන් සිය දේශපාලන බලය තවදුරටත් ආරක්ෂා කර ගනු ඇත.ඒ සඳහා ඔවුන් ආගම හා ජාතිය පිළිබඳ තුරුම්බු පිටියට අත හරිනවා පමණක් නොව ඒ හා සමානව සමාජය බැඳ දැමීම සඳහා මිල්ටෙරි අණ පනත්ද සම්මත කර ගනු ඇත.
නරි නාවන රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනතාව ගොනාට අන්දයි