ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විදේශ සමාගමකට අලෙවි කිරීම මෙරට ආරක්ෂාවට බරපතල තර්ජනයක් විය හැකි බව පසුගියදා පාර්ලිමේන්තු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති සරත් වීරසේකර පාර්ලිමේන්තුවට දන්වා සිටින ලද්දේ එම කාරක සභාව ඒ සම්බන්ධයෙන් ගත් තීරණය ඇතුළත් වර්තාව සභා ගත කරමිනි.සරත් වීරසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එම වාර්තාවේ පිටපතක් එදිනම (ජුනි 9)ජනපතිවරයා වෙත යැවීමට ආණ්ඩු පක්ෂ කාර්යාලය කටයුතු කර තිබුණි.

මෙම වාර්තාව සම්බන්ධයෙන් වහාම ජනපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරිණි.රජය ව්‍යාපාර කිරීමෙන් බැහැරව එම අවස්ථාව පෞද්ගලික අංශයට ලබා දිය යුතුය යන්න වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනපතිවරයා අවධාරණය කර තිබේ.ජනපති මාධ්‍ය නිවේදනයේ සඳහන්ව ඇත්තේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව ගැන රජයේ අවධානය යොමුව ඇති බවය.එසේම මෙම වාර්තාව මෙන්ම තොරතුරු හා සන්නිවේදනය ක්ෂේත්‍රයේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බවද රජය දන්වා සිටින බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.