උණුසුම් පුවත් උණුසුම් පුවත්

සමගි ජනේ මන්ත්‍රී හර්ෂ ද සිල්වාට රනිල් හාමු නාස් ලණුව දා ආණ්ඩුවේ බර කරත්තයේ වැඩ ගනී

Spread the love

සමගි ජන බලවේගයේ මන්ත්‍රී හර්ෂද සිල්වාගේ පණු අමාරුව හොඳ වී තිබේ. ඔහු පසුගිය දිනවල නා⁣හයෙන් අඬ අඬා සිටියේ ඔහුට මුදල් කාරක සභාවේ සභාපතිකම නොදීම ගැන දුකටය.දැන් වැඩේ හරිය.ජනපති රනිල් රාජපක්ෂ ගේ උපදෙසින් හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති ලෙස පත් කර ඇති බව මෙරට මාධ්‍ය වාර්තා කරන ලදී.හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ ඒ පත්වීම ගැන අප අදහසක් ගත යුත්තේ ඔහුට එම තනතුර දීමට උපදෙස් ලබා දී ඇත්තේ ජනපතිවරයා බව කියවෙන තොරතුරෙනි.අපගේ කියවීමට අනුව හර්ෂ ද සිල්වාට ජනපතිවරයා නාස් ලණුව දමා තිබේ.කෙටියෙන්ම කියතොත් හර්ෂ ද සිල්වා විපක්ෂයේ ගාල් කර ඉන්නා  කෙනෙකු වූවාට දැන් රනිල් හාමු ගේ බර කරත්තයේ වැඩට අරගෙන හමාරය.

විපක්ෂ නායක සජිත් හාමු නිතරම කියන විදියට සමගි ජන බලවේගය ආණ්ඩුවේ හොඳ වැඩ වලට පුල් ෂපෝට් එක දෙන්නේය.දැන් අපට ප්‍රශ්ණය වී ඇත්තේ ආණ්ඩුවේ හොඳ වැඩ මොනවාද නරක වැඩ මොනවාද යන්න ගැන තේරුම් ගන්නේ කවර නිර්නායක මතද යන්න ගැනය.ආණ්ඩුව ගෙන එන යෝජනා පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත වෙයි.එම යෝජනා වල හොඳ නරක ගැන ඕනෑ නම් විපක්ෂයට පාර්ලිමේන්තුවේදී අදහස් දක්වන්නට පුළුවන.අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ ර⁣ටේ සිද්ධ වී ඇත්තේ ඔය කෙරුවාවය.

ඉන් එහා මොන ලබුවක් වත් වී නැත.

විපක්ෂ නායක සජිත් හාමු ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම හරියට ආණ්ඩුවේ අත්වැල් ගායන කණ්ඩායම වගේය.ඉඳහිට ආතල් එකට පෙළපාලියක් සංවිධානය කර පාක්ෂිකයන් කොළඹට කැඳවා ආණ්ඩුවට එරෙහිව අවලාද නගා සතුටින් විසිර යති.මේ ආණ්ඩුව එලවා බලය ගැනීමේ අදහසක් හෝ ඉදිරිගාමී සැළසුමක් සමගි ජන බලවේගයට නැති බව පැහැදිලිය.

එහෙත් මේ ආණ්ඩුවේ මිල්ටෙරි වියරුව අවසන් කර බලය ලබා ගත යුතුය යන අදහසින් සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද සමගි ජන බලවේගයේ සිටින බව අප අමතක කළ යුතු නැත.දැන් සජිත් හාමුට ආණ්ඩු බලය ලබා ගැනීමට වඩා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ කෑලි බවට පත් වීම වැලැක්වීමට පියවර ගන්න සිද්ධ වී ති⁣බෙන බව සමගි ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අපට ආරංචි වී තිබේ.සමගි ජන බලවේගය ගොඩ නැගෙන්නේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජාන වලිනි.

ඒ අලියා ලකුණ ජාන ටෙලිෆෝනය විසි කර නැවත අලි ගාලට වැදීමේ සම්භාවිතාව වැඩිය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනා හැරෙන්නට විපක්ෂයේ සිටින බොහෝ මන්ත්‍රීවරුන් සිටින්නේ ඇමති මාන්දම හැදිලාය.ඔවුන්ට හා ඔවුන්ගේ පවුලේ අයවළුන්ට ඇමති පිරුවටය නැතුව හිතට ෆිට් එකක් නැතිය.සජිත් හාමු  පිස්සු කෙළින හැටියට ආණ්ඩු බලය නමි මේ සම්මජ්ජාතියේ ගන්න බැරි බව ඔවුන් කල්පනා කරමින් සිටින බව සහතිකය.එහෙම නම් ෂෝට් කට් එකකින් රනිල් හාමු ගේ ඔඩොක්කුවට  රිංගා  ඇමති හෝ නියෝජ්‍ය ඇමති කට්ටක් ලබා ගැනීම හොඳ බව ඒ හැමදෙනාම සිතන බව විපක්ෂය පැත්තෙන් අපට ලැබෙන ආරංචි අනුව පැහැදිලිය.

රනිල් හාමු ඇතුළු අලියා මාක් සෙට් එක දැන් ගනන් හදා ගෙන තියෙන්නේ සමගි ජන බල වේගයේ පාර්ලිමේන්තු නියෝජනයෙන් පදාසයක් කඩා ගෙන පොදුජන පෙරමුණේ අහුරක් සමග එකතු වී ආණ්ඩු බලය ඇද ගෙන යාමටය.එහෙම ආණ්ඩුවක් හදා ගත් විට ඉදිරි මැතිවරණයකදී සමගි ජන බල වේගයේ පාක්ෂිකයන් නැවත එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙතැයිද සුළු ජාතික ඡන්ද තොගයද ඒ ගොඩට එකතු කර ගන්නට හැකිවේ යැයිද එම කෙරුවාව හරහා නැවත රනිල් හාමු ජනපතිවරයා ලෙස පත් කර ගැනීමට හැකි යැයි අලියා මාක් සැට් එක කල්පනා කරමින් සිටින බව පෙනී යයි.

හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවේ සභාපති කරමින් රනිල් හාමු සමගි ජන ⁣බලවේගයට කොළ එළිය පෙන්වා තිබෙන්නේ අප ඉහත සඳහන් කර ඇති අලියා මාක් සැට් එකේ උපාය මාර්ගික සැළසුමේ ප්‍රස්ථාවනාව විදියටය.

එක්තරා විදියකට එය කෙමනකි.මේ කෙමනට හසු වන්නේ කවුරුද යන්න ඉදිරියේදී කාට කාටත් බලා ගත හැකිය.

මුදල් කමිටුවේ සභාපති කම නැතුව පණු අමාරුව හැදී සිටි හර්ෂ ද සිල්වාට දැන් ඇත්තේ පස්වනක් ප්‍රීතියෙනි.

හැබැයි ඔය මුදල් කමිටුවේ සභාපති විදියට හර්ෂ ද සිල්වා කරන්න පුළුවන් කෙං ගෙඩියක් නම් නැත.ඒ බව අප සඳහන් කරන්නේ ඔය සභාපතිකම ගැන රනිල් හාමු සිදු කර ඇති ප්‍රකාශය සාක්ෂිය⁣ට අරගෙනය.

රනිල් හාමු ඒ පත්වීම ගැන කියා ඇත්තේ මෙහෙමය.

“ජාත්‍යන්තර අරමුදල සමග වන ගිවිසුම පාර්ලිමේන්තුව විසින් සම්මත කර අවසන් බැවින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති වරයාද ඊට අනුකූලව ඉදිරියේදී වැඩ කටයුතු කළ යුතුය”

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා තමන්ගේ පත්වීම ගැන මෙහෙම ලියා තිබේ.

” දැඩි සටනකින් පසුව නැවතත් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වය මා හට හිමි වුනා.මා මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස සෘජු ප්‍රශ්ණ කිරීම් සහ දැඩි මැදිහත් වීම් නිසා යලි ඒ තනතුරට මා පත්වීම වැලැක්වීමට සමහරුන් දැඩි පරිශ්‍රමයක් ගත්තා.

කෙසේවෙතත් විපක්ෂය වෙත මේ තනතුර හිමි කර ගැනීමට සමගිජන බල වේගය දැඩි සටනක් ගෙන ගිය අතර ඒ සඳහා විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස සෘජුවම මැදිහත් වුනා.අවසානයේ ජනපතිවරයා විසින්ම ඒ තනතුර සඳහා යලි මගේ නම යෝජන කළා.මා කෙරෙහි විශ්වාසය තැබූ සැමදෙනාටම මා ස්තූතිවන්ත  වන අතර ඉදිරියටත් රට වෙනුවෙන් සෘජුව හා අවංකව මාගේ සේවය මෙම කාරක සභාවේදී   ලබා දීමට කැප වෙනවා…”

ඒත් ඉතින් අපට කියන්නට තියෙන්නේ අනේ පව් හර්ෂ කියාය.රනිල් හාමු පිටියට දැමූ “තුරුම්බු බූරුවා” කොලයෙන් ඔබ කැපී ගොස් ඇති බව අපට නම් තේරුම් ගන්නට පුළුවන.දැන් ඔබට ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති ජාත්‍යන්තර අරමුදලේ ගිවිසුම⁣ට අනුව සියල්ලටම හා හා කීම මිසක වෙන කෙහුරක් කිරීම නොවේ.

දැන් ඉතින් ෂැපද හර්ෂ මන්ත්‍රීතුමා යැයි අපි අසමු 


Spread the love

You may also like