ආණ්ඩුව තවමත් විවිධ උපාය උපක්‍රමයන් භාවිතා කරමින් ජනතාව මුලා කරමින් සිටී.රට පුරා ගෑස් පෝළිම්ය.ඉන්ධන පෝළිම්ය.මෙය මිල්ටෙරි නන්දසේනගේ ආරක්ෂාව තහවුරු කෙරෙන දේශපාලන උපක්‍රමයක් යැයි අපට සිතේ.ඒ මන්ද යත් පෝළිම් වල සති ගණන් රැදී සිටින ජනතාව ආණ්ඩුවට එරෙහිව විරෝධතාවන්ට සහභාගි නොවන බැවිනි.මෙම පෝලිම් වල රැඳී සිටින ජනතාව තුළ ආණ්ඩුවට එරෙහිව බරපතල විරෝධතාවක් පැවතුනද ඔවුන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් පෝලිම් වල රැඳී සිටී.ආණ්ඩුවට එරෙහිව සංවිධානය වෙන විරෝධතාවලට සහභාගිවීමට ඔවුන්ගේ අදහසක් නැති බව පෙනී යයි.ඒ තමන් පෝලිමේ ස්ථානගතව සිටින ස්ථානය අත් හැර යාමට නොහැකි නිසාය.මෙම සැළසුම ආණ්ඩුව විසින් සැළසුම් සහගතව කුමන්ත්‍රණකාරීව දියත් කරන වැඩ පිළිවෙලක් බව අපට සිතෙන්නේ ඒ නිසාය.
අද නොවේ හෙට…….
ආණ්ඩුව ඒ සඳහා ඉන්ධන හා ගෑස් අද නොවේ හෙට යන නිවේදන නිකුත් කරමින් ජනතාව මුලා කරමින් සිටී.ආණ්ඩුවට එරෙහිව තැනින් තැන පැවැත්වෙන විරෝධතාවන්ද මාධ්‍ය සංදර්ශන බවට පත් වී තිබේ.එහිදී පෙරටුගාමීන් හා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හා ගාළු මුවදොර නිර්පාක්ෂිකයන් යැයි කියාගන්නා අතලොස්ස දින දෙකකට වරක් පමණ ආණ්ඩුවට එරෙහිව පා ගමනක් සංවිධානය කොට පොලිස් බැරිකේඩ් දක්වා ගමන් කොට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර වලට මුහුණ දී සතුටින් විසිර යති.එසේ නැති නම් ගාළු මුව දොර රාත්‍රී සංදර්ශනයක් පවත්වා ආණ්ඩුවට එරෙහිව අම්මා මෝ නැතුව බැණ වදිති.මේ වන විට නාගරික මැද පන්තිය හතේ අමාරුවට වීදි බැස ආණ්ඩුවට විරුද්ධව කුස්සියේ හැඳි වලං හොළවන්නට පටන් ගෙන තිබේ.
මේ මොනවා කෙරුවත් මිල්ටෙරි නන්දසේන ඇතුළු පොදු ජන පෙරමුණු ආණ්ඩුව ඉහින් බහින රෝගයක් නැතුව සිය බලය ආරක්ෂා කර ගෙන සිටී.9/5 ප්‍රහාරයෙන් පසුව රාජපක්ෂ සනුහරයටඑරෙහිව රට පුරා ගොඩ නැගුන මහජන විරෝධය රනිල් වික්‍රමසිංහ යොදවා කළමනාකරණය කර ගැනීමට රාජපක්ෂවරුන් දක්ෂ විය.දැන් රට පුරා පවතින ආණ්ඩු විරෝධය තුළ පවතින්නේ ඒකාත්මික බවක් නොවේ. ඒවා තැනින් තැන මතුවන හුදකලා විරෝධයන්ය.
හුදකලා විරෝධාතා…..
ගොවියන් ඉල්ලන්නේ පෝරය.කෘෂි වෙළඳුන් ඉල්ලන්නේ තමන් තොගයට ගන්නා අස්වැන්න බෙදා හැරීමේ වැඩ පිළිවෙලකි.ගෑස් හා ඉන්ධන පෝලිම්වල හඬ එම අවශ්‍යතා සපුරන ලෙසය.මේ හුදකලා විරෝධාතාවල අරමුණු වල පිළිතුර ලෙස සැළකිය හැක්කේ සිය අවශ්‍ය තාවන් සපුරන්නේනම් ආණ්ඩුව බලයේ සිටියාට කමක් නැති බවය.
ආණ්ඩුවට එරෙහිව රට පුරා ඇවිළුන විාරා්ධතාවන් අසංවිධිත වටපිටාවකට ඇද දැමීම පිළිබඳව චෝදනා කළ යුත්තේ නිර්පාක්ෂික යැයි මොර දෙන ගාළු මුව දොර අරගල කරුවන්ටය.පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙසීය විසි පස් දෙනාම ප්‍රතික්ෂේප කළ යුතු යැයි හැඟවෙන ගොබ්බ අතාර්කික අදහසක් සමාජගත කරමින් නිර්දේශපාලනික යැයි කියා ගන්නා මේ චූටි අරගල කරුවන් ගෙන ගිය මතවාදය දැන් මුළු රටම නිශ්ක්‍රීය කරන්නට හේතු වී තිබේ.
පසුගිය කාලයේ උණුසුම් වූ දේශපාලනික වටපිටාව කළමනාකරණය කරගන්නට නිසි දේශපාලන නායකත්වයක් පැවැතියේනම් ආණ්ඩුව මේ වන විටත් බිමට හාන්සි වී අවසන්ය.දැන් පවතින සමාජ ආර්ථික පීඩනය තුළ එම දේශපාලනික නායකත්වය නිල්ද රතුද
කොළද යන්න වැදගත් නැත.මෙහිදී මූලික අපේක්ෂාව විය යුතු වන්නේ මිල්ටෙරි නන්දසේන ඇතුළු පොදුජන පෙරමුණු දූෂිත නඩය එලවා දැමීමය.ගාළු මුව දොර යටි ගිරියෙන් මොර දෙන නිර්දේශපාලනිකයන් යැයි කියා ගන්නා අයවළුන් මේ හෝරාවේදී තේරුම් ගත යුත්තේ දේශපාලනික වෙනසකට ජනතාව සංවිධානය කිරීම ගැන මිස නිර්දේශපාලනික කතන්දර තුට්ටුවකට වැඩක් නැති බවය.කිසිදු දේශපාලන අවබෝධයක් නැති නළුවන් නිළියන් හා යූ ටියුබ කාරයන් ආණ්ඩුවට එරෙහිව මීඩියා වලට මයිල් ස්මයිල් වෙන වොයිස් කට් දුන්නාට ජනතාව පාරට බහින්නේ නැති බව දැන්වත් තේරුම් ගත යුතුය.රට පුරා පැතිර ගිය ආණ්ඩු විරෝිදය අල කර දැම්මේ මේ කියන නිර්දේශපාලනික අතාර්කික අරගලකරුවන්ය.මොවුන් සිතා සිටින්නේ මිල්ටෙරි නන්දසේන ප්‍රමුඛ රාජපක්ෂ වරුන්ට එරෙහිව මුලින්ම පාරට බැස්සේ තමන් පිරිස බවය.
චූටි නිර්දේශපාලනිකයන්……
එහෙත් රාජපක්ෂ සනුහරයේ හොර මැරකම් වලට විරුද්ධව සිය ජීවිතය පූජා කළ හා ජීවිත අවදානම ගෙන මේ මහ පොළොවේ සටන් කළ බොහෝ දෙනෙකු ඉතිහාසයේ සිටි බව මේ චූටි නිර්දේශපාලනිකයන් දන්නේ නැත.රාජපක්ෂ වරුන්ගේ මරණීය තර්ජන වලට බිය නොවී ඒ පිරිස එදා සටන් වදිද්දී අද නිර්දේශපාලනිකයන් යැයි කියා ගන්නා බොහෝ දෙනෙකු සිටියේ රාජපක්ෂ වරුන්ට බෝධි පූජා තබමිනි.පාර්ලිමේන්තු නියෝජනයේ දෙසීය විසි පහ ප්‍රතික්ශේප කරන මේ චූටි ලාමක ටිං ටිං නිර්දේශපාලනිකයන්
මීට අවුරුදු දහයක පහලොවක සිට රාජපක්ෂ සනුහරයේ හොරකම් මැරකම් වලට එරෙහිව පාර්ලිමේන්තුව තුළ කරුණු අනාවරණය කළ විවිධ දේශපාලන පක්ෂ වලට අයත් දේශපාලන නියෝජිතයන් සිටි බවවත් නොදනී. අඩුම ගානේ මේ චූටි නිර්දේශපාලනිකයන් පාර්ලිමේන්තුවේ පැරණි හැන්සාඩ් කියවා හෝ රට තුළ පැවතුන ජඩ දේශපාලන සංස්කෘතිය ගැන අවබෝධයක් තිබුණේ නම් මෙපමණ මොංගල් වන්නේ නැත.ඒ පැරණි අතීතයේද රාජපක්ෂවරුන් ගේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව සමාජය එදා එළියට බැස්සේ නම් මෙවැනි ආර්ථික අර්බුදයකින් දුක් විඳින්නට ඉඩ නොතිබුණි. එහෙත් දැන් ප්‍රමාද වූවා වැඩිය.
අද වන විට ගාළු මුවදොර නිර්දේශපාලනික අරගලය හුදෙක් සමාජ ආතතිය නැති කිරීමටට වේදිකා ගත කරන නාඩගමක් පමනක් බව අප වටහා ගත යුතුය. මෙය රාජපක්ෂ වරුන්ට බලය තහවුරු කර ගැනීමට අනියම් උපකාරයක් ලෙසද හැඳින්විය හැක.තව අවුරුදු ගණනාවක් ගෙවී ගියද ගාළු මුව දොර නිර්දේශපාලනිකයන්ට මිල්ටෙරි නන්දසේන ආණ්ඩුවේ එක මුරිච්චියක් ගැලවීමට බැරිය.මිල්ටෙරි නන්දසේනට රනිල් වික්‍රමසිංහට හා රාජපක්ෂවරුන්ට සාප කරමින් ආඩපාලි කියමින් කෝචෝක් කරමින් ඔහේ ඉන්නට නම් ඔවුන්ට පුළුවන් වෙනු ඇත.මහින්ද රාජපක්ෂ අගමැති කමෙන් නෙරපා හැරියේද බැසිල් රාජපක්ෂ පාරිලිමේන්තු මන්ත්‍රීකම අත් හැරියේද තම අරගලය නිසා බව ගාළු මුවදොර නිර්දේශපාලනිකයන් මහත් උජාරුවෙන් මීඩියා වලට වොයිස් කට් දෙනු පසුගිය දිනවල අසන්නට ලැබුණි.එහෙත් අපට ඒ ගැන කීමට ඇත්තේ බම්බුව කියා පමණය.මහින්ද රාජපක්ෂ අගමැති කමෙන් අස්වූයේ තමන් විසින්ම සැළසුම් කළ නින්දිත ප්‍රහාරය වැරදී ගිය නිසාය.
එසේ නැති වූයේ නම් අදටත් අගමැති මහින්ද රාජපක්ෂය.බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූයේ පොදු ජන පෙරමුණ තුළ හදිසියේ මතුවූ දේශපාලනික අසමතුලිත බව නිසාය.
අගමැති ධම්මික පෙරේරා………
රාජපක්ෂ වරුන්ගේ මේ ක්‍රියාවන් සිය දේශපාලනික බලය ආරක්ෂා කර ගැනීමට ගත් පියවරවල් මිස නිර්දේශපාලනිකයන්ගේ අරගලය නිසා සිද්ධ වූ ප්‍රතිඵළ නොවේ.මේ වන විටත් බැසිලි රාජපක්ෂ සිය දේශපාලනය අළුත් වටයකින් අරඹා ඇතැයි වාර්තා වේ.පොදු ජන පෙරමුනට අයත් ප්‍රාදේශීය දේශපාලඥයන් හෙට අනිද්දාට නෙළුම් පොකුණ පාරේ පොදුජන පෙරමුණු මූලස්ථානයට කැඳවා ඇත්තේ ඒ නිසාය.ඒ අතරේම රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් එලවා දැමීමටද සැළසුම් කරමින් පවතී.ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමේ සැලසුමද බැසිල් රාජපක්ෂගේය. රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් ඉවත් කර ධම්මික පෙරේරාට අගමැති කම ලබා දීම එම සැලසුමේම කොටසකි.
තවමත් ආණ්ඩුව කාරණා කටයුතු සිද්ධ වන්නේ රාජපක්ෂ වරුන්ට ඕනෑ විදියට මිස වෙනත් න්‍යාය පත්‍ර වලට නොවේ. නිර්දේශපාලනික ගාළු මුව දොර අරගල නාඩගම ඔවුන් තඹ දොයිතුවකට මායිම් කරන්නන් නොවේ.
කොන්දේසි විරහිතව එක් විය යුතුය……..
මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ වරුන්ට එළවා දැමීමට නම් මේ හෝරාවේ සියළු දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සිවිල් සමාජ සංවිධාන හා පුද්ගලයන් කොන්දේසි විරහිතව එක් විය යුතුය.මේ රටේ නිර්දේශපාලනික අරගල වලින් කරන්ට පුළුවන් කෙහුරක් නැත.මේ මහ පොළොව හුස්ම ගන්නේ දේශපාලනික මතවාදයන් තුළ මිස නිර්දේශපාලනික සිහින අභ්‍යාස තුල නොවේ.ආණ්ඩුවට එරෙහිව තැනින් තැන පවතින හුදකලා විරෝධතාවන් ඒකරාශී කළ හැක්කේ රාජපක්ෂ විරෝධී දේශපාලන බලවෙිගයකට පමණය.එසේ නොමැති නම් මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුව තව දුරටත් කිසිදු බාධාවකින් තොරව පැවතෙනු ඇත.