උණුසුම් පුවත්

එතිනෝල් රාජ්‍යයේ එකිනෙකා බේරා ගන්න හැටි.

Spread the love

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටි ප්‍රධාන පෙළේ එතනෝල් ව්‍යාපාරිකයකු රාජ්‍ය ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් කටුනායක ගුවන් තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර පසුව ඇප ලැබීමේ පුවතක් අනාවරණය වේ.
මෙම එතනෝල් ව්‍යාපාරිකයා ඩුබායි සිට මෙරටට පැමිණ ඇත්තේ ඩුබායි සංචාරයකට සහභාගි වූ තවත් දේශපාලනඥයකු වන මධුර විතානගේ  සමග බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 
මොහු පැමිණියේ මධුර විතානගේ සමග බව ඔහුගේ හිත මිත්‍ර දිලිත් ජයවීරගේ පුවත් පත වන අරුණ පුවත් පතින්ම මුලින්  අනාවරණය කරන ලදී.
E.K. 652 දරන එමිරේටස් ගුවන් යානයෙන් ඉකුත් 10 වැනිදා අලුයම 12.45ට මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. එහි දී ඔහු ප්‍රභූ පර්යන්තය ඔස්සේ රැගෙන යාමට තවත් එතනෝල් ව්‍යාපාරිකයකු හා මොහුගේ ව්‍යාපාරික සගයකු වන  රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැමිණ සිට ඇත.
ජයලත් ක්‍රිෂාන් පීරිස් නමැති මෙම එතනෝල් ව්‍යාපාරිකයාට එරෙහිව විවෘත වරෙන්තුවක් අධිකරණයෙන් නිකුත් කර තිබූ නිසා ගුවන් තොටුපොළේ දී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.
විස්කි බෝතල්වලට වර්ණ ගැන්වූ වතුර කලවම් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුට නිකුත් කළ විවෘත වරෙන්තුවක් මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලැබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව පැවසීය.
ග්ලෝබල් ට්‍රාන්ස්පෝටේෂන් ඇන්ඩ් ලොජිස්ටික් සමාගම පවත්වාගෙන යන ග්ලෝබල් පාක් ගුදමක තිබූ විස්කි බෝතල් ඉවත් කර ඊට වර්ණ ගැන් වූ වතුර බෝතල් ආදේශ කළ චෝදනාවකට 2020 සැප්තැම්බරයේ දී එම ගබඩාවටද මුද්‍රා තැබීය.
දූෂිත රේගු නිලධාරීන්ගේද සහාය ඇතිව කළ බව කියන මෙම වංචාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් 2020 අගෝස්තු 14 වැනිදා ග්ලෝබල් පාර්ක් ගුදමෙන් විස්කි පිටමං කළ බවට අනාවරණය වී ඇත.
මෙම විස්කි තොග ප්‍රති අපනයනය සඳහා මෙරටට රැගෙන ඒමේ ව්‍යාපාරයට සම්බන්ධ වූ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඔහු විදෙස්ගතවීම නිසා ඔහුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වසරකට වැඩි කාලයක් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ව්‍යාපාරිකයා දේශපාලනඥයන්ගේ සහාය මැද ලංකාවට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙසේ අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා පැය දහයක් තිස්සේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඉකුත් ඉරිදා (09 වැනිදා) දිනයේ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට පමුණුවා ඇත. එහි දී ඔහුට ඇප ලැබී තිබේ.
කෙසේ වෙතත් සැකකරුට ඇප ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරුද්ධ වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම එතනෝල් ව්‍යාපාරිකවරයාගේ තවත් ව්‍යාපාරික හවුල් කරුවකු වන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වන මුත්තයියා ශෂීදරන්‍ ය.
මෙම  හොර විස්කි බෝතල ව්‍යාපාරයට ඔහුද මුදල් යොදවා ඇත.
පසුගිය මහ මැතිවරණයේදී කඳුරට ආසනයකට පොහොට්ටුවෙන් තරග වැදී පරාජය වූ ශෂීදරන් මීට පෙරද එතනෝල් නඩුවකට පැටලී නිදහස් විය.
ඔහු තම සහෝදර මුරලිදරන්ගේ කෑන් නිපදවීමේ ව්‍යාපාරය හා එකව රෙඩි ටු ඩ්‍රින්ක් නමින් සාන්ද්‍රණය කළ මධ්‍යසාර සහිත කෑන් නිෂ්පාදනයක්ද සිදු කරයි.

 


Spread the love

Leave a Comment

You may also like