අවුරුදු අසූවකට ආසන්න කාලයක් අම්බලන්ගොඩ නගරය කේන්ද්‍රීය කර ගනිමින් ඇසල පෝය දින පැවැත්වූ මෝදර මහා දේවාලයේ පෙරහැර මෙවර නොපවැත්වෙන බව වාර්තා වී තිබේ.
මෙවර ඇසල පෝයට පැවැත්වීමට නියමිතව පැවැතියේ අසූ එක් වන පෙරහැර වන අතර එය නොපැවැත්වීමට හේතුව වී ඇත්තේ දැනට බන්ධනාගාර ගතව සිටින ලොකු පැටී විසින් දේවාල භාරකාර කමිටුවට කර ඇති මරණීය තර්ජනය නිසා බව අනාවරණය වේ.
මෙම දේවාලයේ කපුවා ලෙස කටයුතු කළ තැනැත්තා පසුගියදා පොලිස් අත් අඩංගුවට ගන්නා ලදී.ඒ ලොකු පැටී නම් පාතාල ක්‍රියාකාරිකයාට අයත් කෝටි ගනනක මුදල් මේ කපුවා නමින් ගිණුම් ගතව තිබීම නිසාය.කපුවා පොලිස් අත් අඩංගුවට පත් වීමත් සමගම මෝදර දේවාලයේ භාරකරුවාද වෙඩි තබා ඝාතනය කෙරිණි.
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ පෙරහැර සම්ප්‍රදායික නැටුම් වලින් යුක්තව පවත්වන සංස්කෘතිමය වටිනා කමින් යුතු පෙරහැරකි.මේ පෙරහැර පැවැත්වෙන දින දෙක තුළ ධීවර වෘත්තියේ නිරත වන්නන් මුහුදු යාමෙන් වැලකී සිටී.ඒ වන විට මුහුදේ තිබෙන බහුදින යාත්‍රාවන්ද පෙරහැරට ගොඩ බිම බලා පැමිනේ.විශේෂයෙන් ධීවරයන් දේව ආරක්ෂාව වෙනුවෙන් පැවැත්වෙන මෙම දේවාල පෙරහැර මෙවර නොපැවැත්වීම ගැන ධීවර ප්‍රජාව සිටින්නේ බලවත් කම්පනයෙනි.පාතාල තර්ජන නිසා අවුරුදු අසූ ගණනක් පවත්වාගෙන ආ පූජනීය පෙරහැරක් අත් හිටුවීමට සිද්ධ වීමද ඉතා බරපතල කාරණයකි