Spread the love

මේ රටේ පැවති දූෂණය හා වංචාව රනිල් හාමුගේ ආණ්ඩුව බිංදුවටම කප්පාදු කර ඇතැයි හෝ එසේ කිරීමට රනිල් හාමු මැදිහත් වෙතැයි සිතන එක විහිළුවකි.මහ බැංකුව මහ දහවලේ තමන්ගේ පෝරිසාද මිත්‍රයාට  මංකොල්ල කෑමට ඉඩ දුන් රනිල් හාමු රට ගොඩ දානවා යැයි හීන දකින එකත් බඩ කොරවෙන තරමේ තවත් විහිළුවකි.

පොදු දේපළ හොරකම් කරන වුන් පික් පොකට් ගහන වුන් යටි මඩි ගසා ගන්නා වුන් තවමත් ඇහෙන් බහින කරදරයක් නැතුව නිදැල්ලේ ගජරාමයට තමන්ගේ ජාවාරම් කර ගෙන යති.මේ ජාවාරම් අතරේ බදු වංචාව හිතාගන්නට බැරි තරමේ වංචාවකි.

අපේ රටේ බත සපයන ප්‍රධාන වී මෝල්කාරයන් තුන්දෙනෙකි.හිටං සිරිසේනගේ මලයා ඉන් එක් අයෙකි.

ඒ ඩඩ්ලි සිරිසේනය.ඔහුට පොළොන්නරුව,නුවරඑළිය,උනවටුන ආදී ප්‍රදේශවල දැවැන්ත හොටල් පිහිටා තිබේ.පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකට ඔහු හිමි කම් කියයි.එහෙත් 

පසුගිය වසර තුනටම ඔහු නියමිත ආදායම් බදු ගෙවා නැත.ඊළඟ මෝල් හිමියා වසරකට ගෙවා ඇති බදු මුදල ලක්ෂ නවයකි.මේ තුන්දෙනා එක කන්නයකදී හිමිකර ගන්නා ශුද්ධ ලාභය බිලියන පනහ ඉක්මවන බව පැවැසේ.

මෙරට අවසරය ලබා දී ඇති කැසිනෝ බලපත්‍ර ප්‍රමාණය පහකි.මේ බලපත්‍ර හිමියන් වාර්ෂිකව කැසිනෝ බලපත්‍ර ගාස්තු  ගෙවා ඇතත් ආදායම් බදු ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.

රේස් බයි රේස් ආයතනයක් මෙරට පිහිටා ඇත.මේ සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව ලක්ෂ නවයකි.ලබන ආදායමට සරිලන ආකාරයට ආදායම් බදු  ගෙවා නැත.

මේ රටේ විශාලම ඇඟළුම් අපනයන කරුවා ඩොලර් මිලියන එකසිය පනහක ඇඟළුම් අපනයන කෙරුවද ඔහු ආදායම් බදු ගෙවීම සිඳු කරමින් පවතින්නේ ඩොලර් මිලියන එකක අපනයනය කරන බව සඳහන් කරමිනි.

මෙරට විශාලතම තේ අපනයන කරුවා ඩොලර් මිලියන හාරසියයක පමණ තේ අපනයනය කරන අතර ඔහු බදු ගෙවමින් සිටින්නේ මිලියන එකක් අපනයනය කරන බව සඳහන් කරමිනි.

අපේ රටේ වැඩිම ආදායම ඇති සුපිරි වෙළඳ සැල් ජාලා තුනක් පවතී.ඉන් ශාඛා 426 ක් ඇති වෙළඳ සමාගම 2020 වසරේදී සතයක් බදු ගෙවා නැති බව අනාවරණය වේ.

මෙරට නිමි ඇඳුම් අලෙවි කරන ප්‍රධාන  ආයතන තුන ගතහොත් ඉන් එක ආයතනයකට ශාඛා වෙළඳසැල් 48ක් ඇති ආයතනයද බදු වංචාවක නිරතව සිටී.

⁣කොළඹ පිහිටි මහල් නිවාස ඉඳිකරන සමාගමක් මේ වන විට සත පහක් බදු ගෙවා නැත.ඒ අතරේ සුරා සැල් හිමියන්ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ද ආදායම් බදු නොගෙවන බව සඳහන් වේ.   

ප්‍රදේශීය වශයෙන් ඇතැම් ව්‍යාපාරිකයන් බදු වංචා කරන ක්‍රමයක්ද පවතී.ව්‍යාපාරයක් ලියා පදිංචි කිරීමට  මෙරට  ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රුපියල් දාහකි.මේ යටතේ ප්‍රාදේශීය වශයෙන් ලියාපදිංචි වී ඇති ව්‍යාපාරික  ආයතන බහුතරයක උපයන ආදායම කීයක් වුවද එම ආයතන විසින් වාර්ෂිකව ගෙවිය යුතු බලපත්‍ර ගාස්තුව රුපියල් දාහම පමණි.

මෙරට ආදායමි බදු දෙපාර්තමේන්තුව

 ආදායමි බදු කොමසාරිස් යටතේ පාලනය වන අතර නියෝජ්‍ය කොමසාරිස්වරු නවදෙනෙකි.ඡ්‍යෙෂ්ඨ කොමසාරිස්වරු 22 ක් සිටී.කොමසාරිස් වරුන් සංඛ්‍යාව 90කි.ආදායම් බදු ප්‍රාදේශීය කාර්යාල 17ක් ඇති අතර සේවක සංඛ්‍යාව 1030කි.මෙම දෙපාර්තමේන්තුව අන්ත දූෂිත ජාවාරම්කාරයන් ගෙන් පිරී තිබේ. 

නිසියාකාරව බදු අයකරන ප්‍රතිපත්තියක් පවතී නම් විවිධ වෘත්තිකයන් පමණක් තෝරාගෙන ඉස්ම යන තුරු මිරිකා බදු අයකර ගැනීම අවසන් කළ හැකිය.එම වෘතිතිකයන් රට හැර යන්නේද ඒ අසාධාරණ බදු අය කිරීම නිසා බව පැහැදිලිය.

මෙම දත්ත මීට මාස හයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් පාර්ලිමේන්තුවේ සිඳු කරන ලද ප්‍රකාශයක සඳහන් වූ ඒවාය.

මහින්දානන්ද අළුත්ගමගේ මේ තොරතුරු අනාවරණය කරන ලද්දේ බරපතල  හිතේ  අමාරුවකින් බව පැහැදිලිය.ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග ඔහුට ඇති කොක්කක් නිසා වෙන්නට පුළුවන.

ආදායම් බදු දෙපාර්තමේන්තුව මෙරට පිහිටුවන ලද්දේ අද ඊයේ නොවේ.මහින්දානන්ද ඇමතිවරයකු ලෙස කටයුතු කළ ආණ්ඩු යටතේද ආදායම් බදු දෙපාර්මේන්තුව තිබුණි.එහෙත් ඒ දවස්වල කට අධෝ මුඛය වසා ගෙන සිටි ඔහු හදිසියේම දිව්‍ය ඥානය පහල වී මෙසේ බෙරිහන් දීම ගැන අප බුද්ධියෙන් සිතා බැලිය යුතු නමුත් ඔහු අනාවරණය කරන තොරතුරුද අත් නොහැරිය යුතුය.

 .


Spread the love

You may also like