අධිකරණය ඉදිරියේ පැවැති නඩු විභාගයකදී බොරු සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයක රොෂාන් සංජීව හට වසර එක හමාරක සිර දඬුවමක් දී එය හත් වසරකට අත් හිටුවා අගතියට පත් පාර්ශවයට ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට පසුගියදා වවුනියාව මහාධිකරණය නියෝග කළ බව වාර්තා වේ.
2011 වර්ෂයේ මාර්තු මස 30 වන දින එවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙයරත්නම් ශ්‍රී රංගා විසින් පදවන ලද ජිප් රථය අනතුරට ලක් වී එහි ගමන් ගත් ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් සැරයන් මිය ගිය පසු වාහනය පදවන ලද්දේ මියගිය පොලිස් නිළධාරියා බවට තමන් විසිිින් අධිකරණයට බොරු සාක්ෂි ලබා දුන් බවට පිළිගත් එවකට සෙට්ටිකුලම පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ආර්.සංජීවට වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙසේ දඬුවමි පමුණුවන ලදී.
එසේ වරද පිළිගත් හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාට මෙම දඬුවම වවුනියාව මහාධිකරණයෙන් ලබා දෙන ලද්දේ පසුගිය 8 වන දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය. මාධ්‍යවේදියකු වන ජෙයරත්නම් ශ්‍රී රංඟා පසුව එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් විය.ඔහු විසින් පදවාගෙන ගිය ලියා පදිංචි නොකළ මෝටර් රථය වවුනියාව සෙට්ටිකුලමේදී අනතුරකට ලක් වූ අතර එම අනතුරෙන්
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන් පුෂ්පකුමාර මිය ගියේය.
ඉන් අනතුරුව සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එම රථය පදවා ගෙන පැමින ඇත්තේ මන්ත්‍රීවරයා නොවන බවටත් එය පදවා ගෙන පැමිණ ඇත්තේ මිය ගිය පොලිස් සැරයන් වරයා බවටත් ව්‍යාජ සාක්ෂි සකසා තිබේ.එහෙත් ඉන්පසුව මියගිය පොලිස් සැරයන්වරයාගේ බිරිය විසින් එවකට පොලිස්පතිවරයාව සිටි එන් ඉලංඟකෝන්ට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබුණි.එම පැමිණිල්ල සම්බන්ධයෙන් සිඳු කළ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුගේ බලපෑම මත සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා මෙලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවය. තවදුරටත් පොලිස් විමර්ශන ඒකකය විසින් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එම අනතුර සිදුවන අවස්ථාවේ මෙරට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ මහින්ද බාලසූරියගේ උපදෙස් මත සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපති වරයා අනීතිකව කටයුතු කර ඇති බවද හෙළි වී තිබේ.කෙසේ වෙතත් එහිදී සෙට්ටිකුලම පොලිස් ස්ථානාධිපතිවරයා වූ රොෂාන් සංජීව විසින් පොලිස්පතිවරයා වෙත තම විරෝධය දක්වා ඇත.එහෙත් එවකට පොලිස්පති වරයා මහින්ද බාලසූරිය විසින් පොලිස් ස්ථානාධිපති වරයා වූ රොෂාන් සංජීව කොළඹට කැඳවා ඒ අතරතුර වැඩ බලන පොලිස් ස්ථානාධිපති වරයා මගින් එම රිය අනතුර සිදුවන විට රිය පදවා ඇත්තේ මියගිය පොලිස් සැරයන්වරයා බවට පොලීසියේ පොත්පත් වල සටහන් තබා තිබේ.මෙහිදී පොලීසියේ තොරතුරු සටහන් පොත් පත් පවා වෙනස් කර තිබූ බව පවා හෙළිවී තිබුණි.එහෙත් ප්‍රතිපුරුෂ වගකීමේ චෝදනාව යටතේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ රොෂාන් සංජීවට එහිදී චෝදනා එල්ල විය.එම තොරතුරු සටහන් වෙනස් කරමින් සාක්ෂි සටහන් බී වාර්තාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලද සැරයන්වරයාටද එහිදී චෝදනා කෙරිණි.ඒ අනුව මෙම පොලිස් නිළධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කර තිබේ.
අසත්‍ය ප්‍රකාශ අධිකරණයට වාර්තා කිරීම සහ ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ මෙම නිළධාරීන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබූ හෙයින් පොලිස්පති එන්.ඉලංඟකෝන් විසින් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත.
පොලිස් විමර්ශන ඒකකය විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයේ ගොනු නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව 2019 වර්ෂයේදී නීතිපතිවරයා උපදෙස් දී ඇත්තේ මෙම අනතුර සිඳුවන අවස්ථාවේ වවුනියාව පොලිස් කොට්ඨාශය බාරව සේවයේ නිරතව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් එවකට සෙට්ටිකුලම පොලීසියේ ස්ථානාධිපතිවරයාටත් ශ්‍රී රංඟා ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.ඒ අනුව මෙම සැකකරුවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
පොලීසියේ තොරතුරු වෙනස් කිරීමේ සිද්ධියට විරෝධය දක්වා ඇති නමුත් පොලිස්පතිවරයාගේ බලපෑමට සිදුවූ අකටයුත්තට වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව එම නඩුව 2023 මැයි මස 12 වන දින කැඳවූ අවස්ථාවේ තමන් අධිකරණය බොරු සාක්ෂි දුන් බව පිළිගැනීමෙන් අනතුරුව ඔහුට එරෙහිව එල්ල වී තිබුණු චෝදනා දෙකකට ඉහත සඳහන් කර ඇති දඬුවම වවුනියාව මහාධිකරණය නියම කරන ලද බව වාර්තා වේ
බොරු සාක්ෂි දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට මහාධිකරණය දඬුවම් පමුණවයි