අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ බවට සඳහන් ආන්දෝලනාත්මක දුරකථන සංවාද හඬ පටය සංස්කරණය කරන ලද්දක් බව මොරටුව විශ්වවිද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කිරීමත් සමගම හඬ පටය පදනම් කරගෙන වැඩ තහනමකට ලක් කළ දිල්රුක්ෂි වික්‍රමසිංහ එම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කිරීමට රාජ්‍ය කොමිෂන් සභාව තීරණය කර තිබේ.
වර්ෂ 2021 වසරේදී මොරටුව විශ්ව විද්‍යාලය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිඳු කරන ලද දීර්ඝ විමර්ශනයකදී අනාවරණය වූයේ එම ආන්දෝලනාත්මක හඬ පටය සම්පූර්ණ දුරකථන සංවාදයෙන් විකෘති කර සාදන ලද්දක් බවය.2019 වර්ෂයේදී මෙම හඬපටය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග එම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ රාජ්‍ය සේවා කොමිෂන් සභාව එම මස 24 වනදා දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තාවකාලිකව වැඩ තහනමකට ලක් කළේය.
අදාල සිඳුවීම වන අවස්ථාවේ ඇය නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ලෙස රාජකාරියේ නිරතව සිටියාය.එම සිද්ධිය ඒ දිනවල මෙරට සමාජයේ දැඩි කතා බහට ලක් වූ සිඳුවීමක් අතර එහිදී දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ ඇවන්ගාඩ් සේනාධිපතිගෙන් ඉල්ලා සිටියේ තමන් සමග සිදු කළ සම්පූර්ණ හඬ පටය ප්‍රසිද්ධියට පත් කරන ලෙසය.
මෙම හඬපටය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත පසුව අනාවරණය වූයේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමග ප්‍රථමයෙන් දුරකථනයෙන් සම්බන්ධ වූයේ වජිර අබේවර්ධන බවය.ඔහු ඒ දිනවල රාජ්‍ය පරිපාලන අමත්‍යවරයා විය.වජිර අබේවර්ධන අමාත්‍යවරයාගේ හා ඇවන්ගාඩ් සේනාධිපතිගේ කුමන්ත්‍රණකාරී සැළසුමක් මත මෙම දුරකථන සංවාදය සිදු කළ බවත් පසුව ඔවුන් විසින් එය සංස්කරණය කොට සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමත් සිදු කර තිබුණි.මොවුන් දෙදෙනාට අවශ්‍ය වී තිබුණේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඉතා අවංකව රාජකාරියක නිරත වූ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අපහාසයට හා අගෞරවයට ලක් කිරීම බව පැහැදිලිය.
ඇවන්ගාඩ් මේජර් නිර්මාණය කළ ව්‍යාජ හඬ පට සිද්ධියෙන් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි නිදහස්