උණුසුම් පුවත්

ලෝකෙන් උතුම් රට සිරි ලංකාවයි

Spread the love

රට ගොඩ දාන්න දත මිටි කන රනිල් හාමු ගැන යූඇන්පී කාරයන් කවි ගී සින්දු ලියමින් කියමින් ගයමින් සිටිද්දී එක්සත් ජාතින්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානය මගින් සිදු කළ අධ්‍යයනයක් 

මගින් වාර්තා  කර ඇත්තේ මෙරට පවුල් ලක්ෂ හැත්තෑ පහකට ආසන්න සංඛ්‍යාවක් දැඩි ආහාර අර්බුදයකට මුහුණපා සිටින බවය.

එම වාර්තාවට අනුව මෙරට ලක්ෂ 57 කට අධික පවුල් සංඛ්‍යාවක් වාසය කරන අතර ඉන් සියයට 33ක් මේ වන විට දැඩි ආහාර අර්බුදයට මුහුණ පා සිටී.එමෙන්ම බස්නාහිර ,මධ්‍යම ,හා ඌව   පලාත්වල ආහාර නොමැති කමින් පෙළෙන වැඩිම පිරිස ජීවත්වන බවද එහි සදහන්ය.⁣මෙරට පවුල් ලක්ෂ තිස් හතක් රජයෙන් ලබා දෙන සහනාධාර ඉල්ලා ඇති අතර සමස්ත පවුල් සංඛ්‍යාවෙන් සියයට හැට පහක් ජීවන වියදම පියවා ගැනීමේ දුෂ්කරතාවට මුහුණ පා සිටින බවද වැඩිදුරටත් එහි කියා තිබේ.

බඩේ බත් නැතිවුවද පහුගිය පොසොන් පෝයට රට පුරා දුන් බත් දන් සැල් නූඩ්ලස් දන්සැල් පාන් දන්සැල් බලන විට රට තුළ මෙවැනි බරපතල ආර්ථික හානියක් ඇතැයි සිතන්නට අපට ඉඩක් නැත.කුල්ල කුජීත වී ගිය ආර්ථිකයක් තිබුණද ආගමට අපහාස කරා යැයි අහිංසක ගෑනු ළමයෙක් වැලිකඩට දක්කා හිනා වී කිසිම හිරිකිතයක් නැතුව ආතල් ගැනීමට හැකි සමාජයකට ඔය බඩගින්න  අදාලම වෙන්නේ නැත.

දැන් ගෑස් පෝලිම් නැත.තෙල් පෝලිම් නැත. තෙල් හිඟය නැති කරන්නට රට පුරා ජාත්‍යන්තර ඉන්ධන හල් පිහිටුවන්නට ආණ්ඩුව සූදානමය.ඒ සඳහා ඒ ඒ රටවල් සමග ගිවිසුම් පවා අත්සන් කර හමාරය.මෙරට ග්‍රාම සේවා වසම් ඇත්තේ 14022කි.ආණ්ඩුව රට රට වල් සමග අත්සන් කරන ගිවිසුම් පරිදි මෙරට පිහිටුවන ඉන්ධනහල් සංඛ්‍යාව ඒ ග්‍රාම සේවා වසම් ප්‍රමාණය ඉක්මවා යන්නටද ඉඩ තිබේ.එහෙම බලන විට වැඩේ නරකම නැත.රටේ ජනතාවට කිරියෙන් පිණියෙන් ඉතිරෙන විදියට ඩීසල් පැට්‍රල් ඉතිරේවා කියා හිත හදා ගන්නට පුළුවන.අපට කියන්නට ඇත්තේ අනේ වාසනාවන් කියාය.කන්න නැතෑ ගිණි තියාගන්න හරි පෝලිමේ නොගිහින් ගන්න පැට්‍රල්  තිබෙන එක ලොකු දෙයකි.සිංහල බෞද්ධ රටක කෑම් බීම් ගැන එතරම් ලතවීම හොඳ නැති බවද සිහිපත් කළ යුතුය.ලෝ වැඩ සඟරාවේ ඒ ගැන මේ විදියට සඳහන් කර තිබේ.

ඒ “කුමටද කා බී නිති සැරසෙන්නේ

කොතැනද මේ කය අරගෙන යන්නේ” කියාය. 

දැන් මාරකට්ටුවේ බඩු වල හිඟයක් නැත.ගාණ වැඩි එක විතරය.මාළු ලෑල්ලේ බලයා කෙලවල්ලා දැල්ලා තෝරා ඉස්සා හුරුල්ලා හරි ආඩම්බරය.එයාලා ගනන් පෙන්නන්නේ ලොකු සයිස් එකෙන්ය.ඒ දවස්වල මාළු ලෑල්ලේ පයිසෙකට ගණන් නො⁣ගත් ගූ සූඩයා පවා දැන් අපට ගනන් පෙන්වන්නේ අඩෝ දැන් ෂැපද කියා ඔලොක්කුවට අසමිනි.  

රනිල් හාමු රට 2048 අවුරුද්දේදී රට ගොඩ දාන බවට සහතික වී තිබේ.

හාමු කිව්වොත් කියන දේ කරන නායකයෙකි.ඒ බව ඔප්පු කරන්නට රනිල් හාමු විසින් ලියා ගත්  ඕනෑ තරම් කැරැක්ටර් සැටිපික⁣ට් තිබේ.

ඒ සැටිපිකට් අස්සේ තියෙන බටලන්ද වදකාගාර සැටිපිකට් එකත් බුද්ධි බලකායේ තිස් පස්දෙනෙක් එල්⁣ටීටී එකට බිලි දීම ගැනත් ලියවී තියෙන සැටිපිකට් දෙක ඉදිරියෙනි.ඒ එක්කම තමන්ගේ අඹ යාළුවාට තෑගි කළ බැඳුම්කර සල්ලි මල්ල ⁣ගැන සඳහන් වන සැටිපිකට් එකද තිබේ.ඒ හන්දා 2048 මේ රට ගොඩ හාමු ගොඩ දාන එක ස්ථිරය.දැන් ප්‍රශ්ණය ඇත්තේ හැට පැන්න එවුන් ඔය අවුරුද්ද  වෙන විට ජීවත්ව ඉන්නවාද කියන එකය.හැට පැන්නා කියන්නේ පැන්ෂන් එකට සෙට් වෙනවා කියන එකය.එක්ස්පයර් කෑලිය. ඉතිං එවුන් හිටියා කියා රටට වැඩක් නැත.ඒත් රනිල් හාමු ඒ අවුරුද්ද වෙන තුරු ජීවත්වන බව⁣ට උන්දෑ ෂුවර් කර ගෙන තිබේ.තිස් තුන් කෝටියක් දෙවිවරුන් හාමු ආරක්ෂා කර ගනිත්වා යැයි අපි පතමු.අපේ දරු මුණුබුරන් හරි කිරි කා පැණියෙන් අත හෝදන රටක් හැදෙනවා නම් කොච්චර දෙයක්ද?

හාමුට දීර්ඝායුෂ පතා දැන් රට පුරාම බෝධි පූජා තිබිය යුතුය.පිරිත් පින්කම් කළ යුතුය.මේ රටට සමෘද්ධිය සෞභාග්‍යය උදාවන්නේ  හාමුගේ ආයුෂ කාලය මතය. හාමු හිතා ගෙන ඉන්නේ එහෙමය. මේ රට ගොඩ දාන්නට තමන් නැතිනම් මේ රට ගොඩ දාන්න  වෙන කිසිම එකෙක් නැති බවය.ඡන්ද  කල් දාන්නේ ඒ නිසාය.

දැන් ඡන්දය ලබා ගන්නා එක එළුවන් කෑමේ සෙල්ලම වගේ වෙලාය.ඡන්දය ඉල්ලා පාරට එන අය “ඡන්දය ගන්ටයි අපි ආවේ” කියන විට “මගෙ ⁣බෙටි කාපං කුන්දීරේ” යැයි කියා  මිල්ටෙරි කාරයන් වට කරගෙන ඉන්නා හාමු ඡන්දය ඉල්ලන එවුන්ට  කොචෝක් කරයි.

බඩට බත් හුලක් නෑතෑ මේ රටේ එවුන්ට කොඩියේ ආඩම්බරකාර සිංහයා සිටී.

ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි කියා තාලයට කියන්නට පුළුවන් සිංදුවක් තිබේ.නිකම් ඉන්න බැරි නමි වලියක් දාගන්නට පුළුවන් තරමට දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දය තිබේ.

මේ රටේ එවුන් හැට හුටමාරකට කන්න නැති බවට වාර්තා කරන්නේ එන්ජීඕ කාරයන්ය.උන් ඉන්නේ අපේ රට ගැන ඉරිසියාවෙනි.එක්සත් ජාතීන් ගේ සංවිධානය මේ රටේ මිනිසුන්ගෙන් ලක්ෂ හැත්තෑපහකට කන්න නැති බව කියා ඇත්තේ පැහැදිලි ඉරිසියාවටය.


Spread the love

You may also like