උණුසුම් පුවත්

මහර හිරගෙදර රැඳවියන් 11 දෙනෙකුට වෙඩි තැබීම සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බව වැලිසර මහේස්ත්‍රාත්වරයා තීන්දු කරයි

Spread the love

මෙරට කෝවිඩ් රෝගය ව්‍යාප්ත වූ දින වල කෝවිඩ් ආසාදනය වූ රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් බන්ධනාගාරය තුළ⁣ කෝවිඩ් රෝග පරීක්ෂණ කරන ලෙසටත් ඉල්ලා මහර බන්ධනාගාරයේ  රැඳවියන් කළ විරෝධතාවකට වෙඩි තබා ඔවුන් 11 දෙනෙකුගේ මරණය සිදු කිරීම අපරාධයක් බව තීන්දු කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩවවිදාන එම අපරාධයට සම්බන්ධ සියලුම බන්ධනාගාර නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගියදා රහස් පොලීසියට (26)නියම කළේය.

මෙම වෙඩි තැබීමේදීී රැඳවියන් මිය ගිය ආකාරය අනුව කැරැල්ලක් මැඩ පැවැත්වීම හෝ මානුෂීය මෙහෙයුමක් සඳහා වෙඩි බලය යොදා ගත් බවක් අනාවරණය නොවන බවට තීන්දු කළ විනිසුරුවරයා මරණයට පත් වූවන්ට වෙඩි වැදී වැටී සිටි ආකාරය අනුව කලහකාරී අන්දමින් හැසිරුණ බව කියන රැඳවියන් විසුරුවා හැරීමට බන්ධනාගාර නිළධාරීන් වෙඩි තැබුවාදැයි සැක මතුවන බව තීන්දුවේදී වැඩිදුරටත්  සඳහන්  කර ඇත.

මහර බන්ධනාගාරයේ ඇතිවූ කැරැල්ල මැඩ පැවැත්වීම නිසා ඔවුන්ගේ දණහිසින් පහලට වෙඩි තැබූ බවටත් සාක්කි ඉදිරිපත් වුවත් මරණයට පත් වූ කිසිදු රැඳවියකුගේ දණහිසින් පහලට වෙඩි වැදී තිබූ බවට සලකුණු නොමැති බවට සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මියගිය රැඳවියන් 11 දෙනාගේම මරණය සිදු වී ඇත්තේ ඔවුන්ගේ බඩ හිස පපුව ආදී ප්‍රදේශවලට වෙඩි වැදීමෙන් ඇතිවූ මරණීය තුවාල හේතුවෙන් බවද පැවසීය.

සිද්ධියට අදාල පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධව විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශය අධිකර⁣ණයේ පෙනී සිටින ලදී.

පසුගිය කෝවිඩ් සමයේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් විසින් තමන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇත්දැයි දැන ගැනීමට පීසීආර් පරීක්ෂණ කරන ලෙසත් ,වයිරසය ආසාදනය වී බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට ප්‍රතිකාර ලබා දෙන ලෙසත් ඉල්ලා 2020 නොවැම්බර් 29 වැනිදා විරෝධතාවක් කළ බවත් ඒ අවස්ථාවේදී ඔවුන් කළහකාරී අන්දමින් හැසිරෙමින් විරෝධතාවක නියැලී ඇති බවත් පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණි.

එම විරෝධතාව මැඬ පැවැත්වීම සඳහා බන්ධනාගාර නිළධාරීන් මුලින්ම කඳුුුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවටත් ඉන් පාලනය නොවූ රැඳවියන් පාලනය කර කැරැල්ල මැඬ පැවැත්වීමට ජීවඋණ්ඩ යොදා රැඳවියන්ගේ දණහිසින් පහලට වෙඩි තැබීමට අණ දී ඇති බවත් ඒ අනුව කළහකාරීව හැසිරුණ රැඳවියන්ගේ දණ හිසින් පහලට වෙඩි තැබූ බවටත් මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්කි ඉදිරිපත් වී තිබුණි.

කැරැල්ල අවස්ථාවේ මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කිහිප දෙනෙකුද මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දී ඇති බවත් එම සාක්ෂි වලදී බන්ධනාගාර නිළධාරීන් හතර අතේ වෙඩි තැබූ බවත්,තුවාල ලබා බන්ධනාගාරය තුළ වැටී සිටි රැඳවියන් ගේට්ටුව දක්වා ඔසවා ගෙන ආ රැඳවියන්ට පවා බන්ධනාගාර නිළධාරීන් වෙඩි තැබූ බවටත්  අනාවරණය වී තිබේ.

ඔබගේ කාරුණික සහයෝගය නොමතිව ලංකා දවස පුවත් පත පවත්වා ගෙන යාමට නොහැකිවේ.

 


Spread the love

Leave a Comment

You may also like