වෙනත්

මහජන නියෝගයෙන් ජනපති කටවහගෙන වාඩිවෙන දිනය වැඩි ඈතක නෑ- ඩලස්

Spread the love

පසුගියදා පාර්ලිමේන්තුවේදී,විපක්ෂයට” you shut up sit down” යනුවෙන් අණදුන් ජනාධිපතිවරයාට,අධිකරණය විසින් you shutup sitdown,යනුවෙන් නියෝග කිරීම දෛවයේ සරදමකැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසයේ කෲරතර ඒකාධිපතියෙකු වූ ඇඩොල්ෆ් හිට්ලර් ගේ පුනරුත්පත්තිය බවට තමා ම හඳුන්වා ගන්නා ජනාධිපතිවරයා දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරන බව පළාත් පාලන මැතිවරණ මගහරින්නට දරන උත්සාහයෙන් මනාව පිළිබිඹු වන බවත් නුදුරේ දීම රටේ මහජනතාව විසින් ජනපතිවරයා නිහඬ කොට වාඩි කරවනු ඇති බව ත් අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය,පසුගිය සෙනසුරාදා(2023.03.04)කඹුරුපිටියේ පැවති ජනහමුවක දී ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය……

අද අපේ රට දරුණු ඒකාධිපතිත්වයක් කරා ගමන් කරමින් සිටිනවා. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු වර්තමාන ජනාධිපතිවරයා අද සියලු මහජන බල ව්‍යුහයන් තමන් ගේ අණසකට යටත් කර ගනිමින් ඉන්නවා. සියලු පළාත් සභා අද පාලනය කරන්නේ ආණ්ඩුකාරවරුන්. ඒ කියන්නේ ජනාධිපතිවරයා ගේ නියෝජිතයින්. ඒ වගේම පහුගිය පෙබරවාරි මාසේ විසි වෙනිදා ඉඳලා වර්තමාන පාර්ලිමේන්තුව තියෙන්නේ ජනාධිපතිවරයා ගේ අත්අඩංගුවේ. ඒ කියන්නේ ඕනම මොහොතක ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයක් කැඳවන්න. මහජනතාව හමුවට යෑමට භීතියක් දක්වන මන්ත්‍රීවරුන්ගේ ආශිර්වාදයෙන් ධුරයට පත් වෙච්ච ජනාධිපතිවරයාට ඒ මන්ත්‍රී කණ්ඩායම අල්ලෙ නටවන්න කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියල පොඩි ඉඟියක් කරන එක විතරයි.

විශ්‍රාම වැටුප ලැබෙනතුරු වාහන පර්මිට් එක ලැබෙතුරු පාර්ලිමේන්තුව විසුරුවන්න එපා කියල සම හරක් මන්ත්‍රීවරු ජනාධිපතිවරයා ඉස්සරහ ඉන්නේ දණ්ඩ නමස්කාරයෙන්.
ඒ එක්කම, පළාත් පාලන මැතිවරණය මගහරවා ගත්තොත් රටේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි වෙනවා. එතකොට ජනාධිපතිවරයාට තමන් ගේ ඒකාධිපති ගමන යන්න බොහොම පහසු වෙනවා.

මේක තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ න්‍යායපත්‍රය. පලාත් පාලන මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵල දන්නවා වගේම, ඒ ප්‍රතිඵලයෙන් පසුව ඇතිවන දේශපාලන පෙරළියත් එතුමා හොඳට දන්නවා.ඒ නිසා තමයි මැතිවරණය කල් දාලා විශේෂ කොමසාරිස්වරුන් යටතට පළාත් පාලනය පත් කරලා එම ආයතනත් ජනාධිපති නියෝජිතයකුගේ පාලනය යටතට පත් කරලා මේ යන්න හදන්නේ දරුණු ෆැසිස්ට් පාලනයකට. ඒක විපක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන සියලු පුරවැසියන් හොඳට අවබෝධ කරගන්නට ඕනේ.

පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා ජනතාවට විහිළු සපයන එක රටේ පළමු පුරවැසියා ගේ වගකීමද.? මිලියන විසි දෙකක් වූ අපේ රටේ ජනගහනයෙන් මිලියන 21කුත් අනූනම දහස් නමසිය අනූ නමයක් දන්නවා මැතිවරණ තියෙන බව නමුත් නොදන්න එක මිනිහායි ඉන්නේ. අවාසනාවට ඒ මනුස්සයා අපේ රටේ රාජ්‍ය නායකයා.
රජයේ සේවකයෝ 7200 ක් වෙනුවෙන් නිවාඩු අනුමත කරල තියෙනවා. අප මුදල් විතරක් මිලියන එකසිය අසූවක් භාණ්ඩාගාර තැන්පත් කරල තියෙනවා.

රජයේ මුද්‍රණාලයේ ඡන්ද පත්‍රිකා අච්චු ගහලා තියෙනවා. ජනාධිපතිතුමාගේ පක්ෂයත් ඇතුළුව පක්ෂ ගණනාවකින් 82.000ක් අපේක්ෂකයෝ නාමයෝජනා දීලා තියෙනවා. නාමයෝජනා දීපු රජයේ සේවක අපේක්ෂක අපේක්ෂිකාවන් ට ආණ්ඩුව නිවාඩු අනුමත කරල තියෙනවා.
පොලිසිය කියනවා පාරේ පෙළපාලි යන්න තහනම් මේක මැතිවරණ කාලයක් කියලා.
මේ ඔක්කොම අස්සේ රටේ ජනාධිපතිවරය කියනවා “මම ඡන්ද කල් දාන්නේ නෑ…..කල්දාන්න ඡන්දයක් නෑ…… කියල. ඒකට තමයි ගමේ භාෂාවෙන් කියන්නේ මල සමයං කියලා.

දැන් අධිකරණ තීන්දුව නිසා, පළාත් පාලන ඡන්දය කල් දාන්න ජනාධිපතිවරයා දරපු උත්සාහය අසාර්ථක වෙනවා. ඒ නිසා, මැතිවරණය පවත්වන්න සුදුසු දිනයක් ප්‍රකාශ කරන්න මැතිවරණ කොමිසමට සිදුවෙනවා.ඒ මැතිවරණය පවත්වපු දාට……
එදාට මේ රටේ ජනතාව එක හඬින් පවසනවා….. you shutup, sit down and go home president…..කියල.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් තුමාට,මැතිවරණයක් අස්සේ උනත් වෙන කිසිම වැඩක් කරන්න වෙලාවක් නෑ… මොකද එතුමගේ එකම රාජකාරිය, හෙලිකොප්ටරයෙන් තරග කරන,මන්ත්‍රීවරුන්ව සභාපතිවරුන් ව උප සභාපතිවරුන් ව ධූරයෙන් පහ කරන්න ලියුම් ගහන එක. පුදුම හදිසියකින් පුදුම වේගයකින් එතුමා ඒ වැඩේ කරනවා. මොකක්ද මේ කට්ටිය කරපු වරද…?.මොකක්ද කරපු විනය විරෝධී වැඩ…..?
මේ කණ්ඩායම කරපු එකම වරද තමයි, පක්ෂයට ලැබුණු ජනවරමට පක්ෂවීම. තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයකට, ලක්ෂ 69 ක හැට නමයක ජනාධිපතිවරණ ජන බලයකට හේතු වුණු ප්‍රතිපත්ති මාලාවට පක්ෂ වීම පමණයි මේ අය කරපු එකම වරද.
පහුගිය මැතිවරණ හැම එකක දිම,පක්ෂය ජනතාවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති වෙනුවෙන් කැපවීම තමයි අද මන්ත්‍රීධූරය නැත්තං උප සභාපති ධූරය,එහෙමත් නැත්නම් සභාපති ධූරය ධූරය අහිමි වෙන්න හේතු වෙලා තියෙන්නේ.

මේ සියල්ලම කරන්නේ එක්සත් ජාතික පක්ෂයත්,එහි නායකත්වයත් සතුටු කරන්න.
අද පක්ෂයේ සභාපති ජී එල් පීරිස් මැතිතුමාගේ මන්ත්‍රීධූරය, අහෝසි කරන්න මුල් පියවර ගත්ත කියලා කියලා දැනගන්න ලැබුණා. ජී එල් පීරිස් ඇමති තුමා කලෙත්, තමන්ගේ හෘද සාක්ෂියට එකඟව, පක්ෂය මැතිවරණවලදී ජනතාවට ලබාදුන් ප්‍රතිපත්ති වලට පක්ෂ වීම පමණයි. පලාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් පටන් ගනිපු මේ දඩයම, මීළඟට දියත් වෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියලා කියලා අපි තේරුම් අරන් ඉන්නවා. මොන තරම් අභියෝග ආවත්,මොන තර්ජනය ආවත්, අපි එදා ලබපු මහජන වරම වෙනුවෙන්, ඒ ප්‍රතිපත්ති වෙනුවෙන් කැප වෙලා කටයුතු ඒක නවත්තනෙ නෑ. දිනපතා ලියුම් ගැහුවත්,අපි හෘද සාක්ෂියට එකඟ වෙන එක නතර කරන්න පුළුවන් වෙන්නේ නෑ කියලා,මම මේ අවස්ථාවේ දී අවධාරණය කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා ද මෙහිදී සභාව ඇමතූ අතර ප්‍රාදේශීය සභා සභාපතිවරුන්,උප සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

 


Spread the love

Leave a Comment

You may also like