වෙනත්

අපේ කාලයේ මුහුදු “මංකොල්ල කාරයෙක් “…

Spread the love

 
පීටර් පැන් කතාවේ කැප්ටන් හූක්, නැත්තන් පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් චිත්‍රපටයේ කැප්ටන් ජැක් ස්පැරෝ, බ්ලැක් බියර්ඩ් කියන්නේ කවුරුත් අහල තියෙන චරිත.ඒත් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමා මෙහෙම කට්ටියක් ඒ කියන්නේ මුහුදු මංකොල්ලකාරයෝ ඇත්තටම ඉන්නවද කියන එක. ඔන්න ඉතින් අපේ කාලයේ එහෙව් කෙනෙක් ගැන තමයි මේ රස කතාව.
පුද්ගලික ආරක්ෂක සේවා සපයන සමාගමක්  ආරම්භ කරපු සේනාධිපති හමුදා නිලධාරියෙක්ට සූරියකන්ද නඩුවෙන් වැරදිකරු වෙලා සිරගත වෙන්න සිද්ධ වෙනවා.ඒ ජරමරේ මැද්දෙ කූරු අස්සෙන් රිිංග ගත්ත ගොඩ හමුදාකාරයෙක් ඔහුගේ සමාගමේ රැකියාවක් ඉල්ලුවා. එයාගෙ පැටිකිරිය කියලම ඉන්නම්කෝ. විභාග කොපි කිරීමට දෙයියා. කොපි කරල මාට්ටුත් වෙනවා…කට්ටපරිච්චාන් සටනෙදී තමන්ගේ සගයෝ රට වෙනුවෙන් ජීවිතය පූජා කරද්දි යුද්ධෙට බයේ පැනලා ගියපු උන් තමයි දැන් මේ රස්සා හොයන්නෙ. මංකොල්ලේ පටන් ගත්තේ එතනින්.  ඒ තමන්ගේ තියුණු කපටි මොළය පාවිච්චි කරලා රස්සා කරපු සමාගමේ අයිතිය මංකොල්ල කාලා….කොල්ලාධිපති.!!!
නිල මුහුදු හමුදාව, සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙ තනි ඇහෙන් හැංගිලා රතු මුහුදෙ යාත්‍රා කරන නෞකා, ආයුධ වලින් සන්නද්ධ කරන්න උදව් දෙන්න ගත්තේ *2009 දෙසැම්බර්* මාසයේදී. ඊට පස්සේ දෙවෙනි නැව එන්නෙ *2010 මාර්තු* මාසයේදී. කොහොම උනත් *2009* ඉදන් *2011* වෙනකන්ම මේ වෙළදාම ගියේ ඉබි ගමනෙන්. ඒත් දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා වගේ *2011* දී සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගේ සැර ටිකක් වැඩි උනා. උන් රතු මුහුදේ පෙරළි කරන්න ගත්තේ මේ කාලේදී. ඒ හින්දා රක්ෂණ සමාගම් ආරක්ෂක සේවා ලබගැනීම අනිවාර්ය කලා. මේ වෙද්දි නිල මුහුදු  හමුදාවට ලැබීම් අතින්නම් ලක්ෂෙට කොඩිය දාලා හිටපු කාලයක්. ඔන්න දැන් තමයි වටින් පිටින් මේකට ඇල්ම බැල්ම වැටෙන්න ගත්තේ. *2009* අවුරුද්දේ පටන් ගත්ත මේ ව්‍යාපාරයට අපේ කතානායක කොල්ලාධිපති අඩිය තියන්න ගත්තා. *2012 ඔක්තෝම්බර් 12* වෙනිදා මේ ආරක්ෂක සේවාවන්  තම සමාගමේ පාලනයට නතු කර ගන්න මෙයාට පුළුවන් උනා. ඒ වෙද්දී මේ ව්‍යාපාරයේ ආදායම අහස උසට කියන එකනම් නොරහසක්. ඔන්න දැන් එයාට මුහුද රහ වැටුනා . මුහුදු මංකොල්ල සවාරිය පටන් ගන්නයි දැන් ලෑස්තිය.
ඔහොම යනකොට අධිපතියාට ආරංචි වෙනව ඇමරිකාවේ නිවසක් විකුණන්න යන එවකට ආරක්ෂක බලවතෙකු ගැන. ඇමෙරිකාවට යන මොහු එම නිවස නොවටිනා ගානක් ගෙවල මිලට අරගෙන ඒ ආරක්ෂක ලොක්කට කොක්ක ගහනවා.
ඒ ආනුභාවයෙන් නිල මුහුදු හමුදාව සතුවෙච්ච, රජයට මහ ඉහලින් ඩොලර් හම්බකරල දුන්න මේ ව්‍යාපාරය, තමන් කොල්ලකාලා අල්ලගත්ත සමාගම යටතේ ඒකාධිකාරයට යටත් කරගත්තා.  ඔහු විසින් මෙහෙයවන එක් ආයුධ සැපයීමක් වෙනුවෙන් නිල මුහුදු හමුදාවට *ඇමරිකානු ඩොලර් දහසක* මුදලක් ගෙවන පොරොන්දුව උඩ රකින ලක් සමාගම එක්ක ගිවිසුමක් ගැහුවා.
මෙය ඔහුගේ සමාගම ලබාගන්නා *ඇමරිකානු ඩාෙලර් 3500* න් *28%* කට ආසන්න මුදලක් බව ඔහු විසින්ම පස්සේ කියලා තියනවා (හැබැයි හරියට බැලුවොත් ඒක *28.5%* ක්). කිසිම හිරිකිතයක් නැතුව මේ කොල්ලකෑමට කිරියෙන් පැණියෙන් උදව් කරපු එවකට හිටපු දේශපාලන අධිකාරියේ සියලු ආශිර්වාද මැද මේ මංකොල්ලෙට උඩගෙඩි දීපු හිටපු නාවික හමුදාපති කරන්නාගොඩත් මේ ඔක්කොම අස්සේ බර පඩියකට ඒ සමාගමේම රස්සාවට යනවා.ලැජ්ජයි නේ.
කොහොමින් හරි *2013* අවුරුද්දෙදි කලින් කියපු *28%, 25%* ක් වෙනකන් අඩු කරන්න,  නිල මුහුදු හමුදාවෙ ඊලගට පත් උන ලොක්කගෙ උල්පන්දම් එක්ක අතිරේක ලේකම් නෝනා කෙනෙක් ලිපියක් ගැහුවා. ඔන්න ඉතින් අධිපතිගේ ඉහේ මලක් පිපුණා වගේ. කල දුටු කල වල ඉහ ගන්න තාලේ එයා හොදට දන්නවා. අර නෝනා ගහපු ලිපියෙන් හොදම ප්‍රයෝජනේ ගන්න අධිපති *28%* ක් වුන කොටස, මෙහෙයුම් පටන්ගත්ත දවසේ ඉදන්ම *25%* කට අඩුකලා. රජයට හිගා නොකා හිගාකන්න වෙන්නේ මෙහෙව් තක්කඩි වැඩ වලින් තමයි.
ඒක ලොකු පාඩුවක් උනා. අධිපති ඒකට ගෙතුවා රස කතාවක්. “ප්‍රවර්ධන වියදම් පියවාගැනීම”. මේවා මහත්තයෝ කොණ්ඩේ බැදපු චීනෙක්වත් අහන්නැති කතා ඉතින්. කොහොමින් හරි අන්තිමට *25%, 17%* ට බැස්සා. කණගාටුයි කියන්න සුපුරුදු පරිදි නිල මුහුදු හමුදාවෙ ඊලග ලොක්කා තමයි ඒකට පාර මැනලා දුන්නේ. එහෙයි එහෙයි කියලා පාර කපලා දුන්නේ ඒ කාලේ රකින ලක්  අධිපතිවරයෙක්. බලන් යනකොට මංකොල්ල කන්නෙම අධිපතියො. මේ ගණන් හිලව් ඔක්කොම බැලුවේ *ඩොලර් 3500* මුළු ගානත් එක්ක සසඳලා. නමුත් ගත්ත ගාන අදටත් කවුරුත් දන්නෙ නෑ.වැඩ කරපු මුහුදු ආරක්ෂකයෙකුට දුන්නේ සොච්චම් මුදලක්. ඒකෙන් කොල්ලාධිපති ගොඩ ගියා.රජය යට ගියා.
අපේ රකින ලක්  අධිපතිගේ ගිණුමට වැටුණු මුදල් කන්දරාවක් ගැන අධිකරණයේ අල්ලස් නඩුවක් වග විභාග උනේ ඔය කාලෙදී. කොහොමින් හරි ඉතින් “තාක්ෂණික කරුණු මත” ඒ විභාගෙත් අහවර උනා. කලින් කිව්වා මතක ඇති අධිපතියි රකින ලක් සමාගමයි අතර ගහපු ගිවිසුම.ඒ ගිවිසුම ඒක පාර්ශවීයයි. මොකද කිව්වොත් ඒකට නිල මුහුදු හමුදාව ගාවගෙන තිබ්බේ නෑ.ඒක ලොකු ගැටලුවක්. අනෙක් පැත්තෙන් මේ ගිවිසුමේ පලහිලව් ටික තේරුම් බේරුම් කරගන්න එක සිංගප්පූරුවේදී කරන්න ඕන කියපු එක.
මේ නාටකයේ ප්‍රධාන නිළි භූමිකාවක් රගපෑවේ ලේකම් නෝනා. පස්සේ එයා උන්හිටි තැනක්වත් හොයාගන්න නැති උනා. නෝනා අත්සන් ගැහුවේ නීතියටනම් පස්සේ මොකෝ හැංගිමුත්තන්.
අමතක කරන්නෙපා… අධිපතියෙක් උනාට අපේ කතානායකයා අංක එකේ මුහුදු මංකොල්ලකාරයෙක්. කවදාවත් නිල මුහුදු හමුදාවට වෙච්ච පොරොන්දු ඉෂ්ට කලේ නෑ. වෙලාවට සල්ලි ගෙව්වේ නෑ. ඒක පොළියත් බැලුවොත් *මිලියන 700* ක් විතර. ඒක වංචාවක්. ඒක  රජයට වෙච්ච පොඩි පාඩුවක්. ලැජ්ජයි කියන්න එහෙව් එකාට තිබ්බ දේශපාලන හයිය. ඒ හයියෙන් අනෙක් සමාගම් බංකොලොත් කරලා කරළියේ රජ වෙන්න මෙයාට පුලුවන් උනා.
ලාභ අලාභ එලියට දානකොට කපටි මොලේ හොදට වැඩකලා. මේ සමාගම කොල්ලකනකොට ඒක තිබ්බේ ආදායමේ හිනිපෙත්තේ. *2009* ඉදන් *2012* වෙනකන් දණෙන් ඇවිදන් ගිය කාලෙත් එක්ක සසදලා සැබෑ තතු හංගන්න තරම් ඔහු සූක්ෂම උනා. ඒ විතරක් නෙවෙයි වෙළද නැව්වලට  නිකුත් කරන මුදා හැරීමේ සහතිකය (CDC) ලබා දීමේ ක්‍රමවේදයත් මොහු දේශපාලන හයියෙන් වෙනස් කලා.ඒ තමන් එක්ක හුරේ දාන හමුදා මහත්තුරු මේ රස්සාවට දාගන්න. ඒත් ඒ රස්සා කෙරුවාව අල්ලලා ගියේ නෑ. ඒක එයාලට හුරු නැ. වමනෙ දාගෙන නැව් වල ඉන්න කොට  පළපුරුදු ඇත්තන්ගේ උදහසට ලක් වූ වාර අනන්තයි. 
ඒකෙන් මේකෙන් අන්තිමට උනේ නිල මුහුදු හමුදාවේ හිටපු සෙබළුන්ට ලැබෙන්න තිබ්බ රස්සා ටිකටත් කණ කොකා අඩපු එක.
අධිපති හිටියේ කොල්ලකන පිපාසෙන්. හොද හැටි රහ වැටිලා. දකුණේ බේස් එක ඇතුලේ ආම්පන්න එක්ක කන්ටේනර් දෙකකුත්, ගාලු වරාය ඇතුලේ තව නැවකුත් දාලා තිබ්බා පිනට ඔන්න. සත පහක් ගෙව්වේ නෑ ආණ්ඩුවට. පොඩි මිනිහා එක බද්දක් ගෙව්වෙ නැත්තන් බලන්න තිබ්බා රගේ.
ඔන්න දැන් එයා රගන්නේ හොදම කොල්ලකාර භූමිකාව. පාවෙන අවි ගබඩාවල් ඕන උනා මෙයාට. ඒ වෙනුවෙන් “නුවර නෞකාව” ස්ථානගත කරන්න පොරොන්දු උනා නාවික සැතපුම් 12ක් ඈතින්. පොරොන්දු දාහක් දුන්නත් තක්කඩියා තක්කඩියාම තමයි. පොරොන්දු උන කාලෙන් *20%* තිබ්බා ඈතට කරලා. ඉතිරි *80%ම* ගාලු වරාය ඇතුලේ.පාවීම වරාය ඇතුලේ වැඩි කාලයක් .
එක අවි ගබඩාවක් මදි උනා. මුහුදු මංකොල්ලකාරයෝ එහෙමයි. තවත් අවි ගබඩාවක් කරපු නැවක් ඔන්න හොරෙන්ම රිංගුවා ලංකා මුහුදු තීරෙට. එතකොට ඒ *2015* නොවැම්බර්. කවුරුත් දන්නෙ නෑ නැව එනකන්.
ඒත් නිල මුහුදු හමුදාවෙ ඇස් වලට වලිගහන්න එහෙම ලේසි උනේ නෑ. රෑ එලිවෙනකන් ඇස් කන් ඇරගෙන මේ රිංගිල්ල දිහා බලන් හිටියා. ඇහුවා එන්න හේතුව. නෑ හරිහමන් උත්තරයක්. පහුවෙනිදා කොහොමහරි වෙරළ රක්ෂක දෙපාර්තමේන්තුවයි නිල මුහුදු හමුදාවයි එකතුවෙලා මේ නැව අල්ලගත්තා. ඔන්න බඩු අතේ මාට්ටු. ආයුධ තොග ගණන්. ගොඩක් ඒවගේ අංකත් හූරලා දාලා. පොතේ හැටියට වැඩේ කරන්න ඕන හින්දා පොලීසි ගියාට නඩු කිව්වට අධිපති නිදහස්.විමර්ෂකයෝ වැඩේ හරියට කරල නෑ වගේ .
ඔන්න ඕකයි කතන්දරේ.කතන්දර කියලා අත්පුඩි ගහලා නතර වෙන්නනම් අපේ අදහසක් නෑ. මෙන්න මේකට උත්තර දෙමු අධිපතිතුමා….
පසුගිය කාලෙ *රණවිරුවෝ 6500* කගේ රස්සාව නැති උනා කියලා මොරදුන්නනේ ඔයා. ඒ නැති වෙච්ච ක්‍රමේ රටට කියන්න. අපිත් ආසයි අහන්න. මාධ්‍ය සංදර්ශන වලට උපන් හපන් නිසා මේකත් එහෙම එහෙකින් එළියට දාමු. දේශපාලන ගැත්තෙක් වෙලා නීති පොතේ ඇහැට හැමදාම වැලිගහන්න බෑ. 
හැලිය රත්වෙනකන් කකුළුවා දිය කෙලියේ වගේ අධිපති කරලියේ රගන්නේ හිටපු නිල හමුදා මහත්වරුන් දෙතුන් දෙනෙක්ගේ පිහිටෙන්. ඒ නැත්තන් ඇපත් නෑ. 

මුහුදු මංකොල්ලකාරයෙක් උනත් සාධාරණ වෙන්න ඕනේ තමන්ගේ රට වල පල්ලට නොයවන්න. එහෙමයි වෙන උන්ගේ ප්‍රතිපත්තිය.

කැප්ටන් මෝගන්

Spread the love

Leave a Comment

You may also like