උණුසුම් පුවත්

මුහුදු මංකොල්ලකරුවන් ඉදිරියේ කොන්ද කෙලින් තබාගෙන, තම නිල ඇදුමේ අභිමානය රැකගෙන  ගෞරවාන්විතව සේවයෙන් විශ්‍රාම යන තවත් ශ්‍රේෂ්ඨ නාවික හමුදා විරුවෙක්……

Spread the love

 
“මුහුදු මංකොල්ලකාරයෝ”නම ඇසූ පමණින්ම ඔබටත් මටත් අප ළමා කාලයේ කියවූ භයානක චරිතයන් ආවර්ජනයවනවා නොඅනුමානය. කැප්ටන් මෝගන්, බ්ලැක්බෙයාර්ඩ්, කැලිකෝ ජැක් වැනි චරිත අප හදවත් තුළට කාවැද්දූ භීතිය අදටත් මැකී ගොස් නැත.

කෙසේ වුවද අනුන්ගෙ සම්පත් මංකොල්ලකා වැජඹෙන්නට තැනූ ඔවුන්ට වඩා අතිශය භයානක වන්නේ තම රටෙහි තම මහජනතාවගේ  සම්පත් නිර්ලජ්ජිත ලෙස උදුරාගන්නා මුහුදු මංකොල්ලකරුවන්යයි අපි සිතමු. 

තරු, පටි, කඩුකස්තාන පදක්කම් එල්ලාගෙන සිටි රාජ්‍ය නිළයන්ද එවැන්නන්ගේ සාක්කුවල සුවසේ වැජඹීම අතිශයින් කණගාටුදායකය. Wine,Women,Money යන අංශ තුනෙන්ම සන්තර්පණය කිරීම සදහා මොවුන්  අපේ ඩොලර් මංකොල්ලකති. 

ඩොලර් නෑ කියමින් ඉන්ධන හා ගෑස් නැවු වරායට පිටින් නවතා ඇති සමයකත් මේ මංකොල්ලය යහමින් සිදුවේ. ඒ පිළිබඳව රටෙහි දේශපාලන බලවතුන්
වගක් හෝ නැත.ඒ ඔවුන් සියල්ල මුහුදු මංකොල්ලකරුවන්ගේ සාක්කුවට වැටී ඇති නිසාදෝ යැයි ජනතාව ප්‍රශ්න කරති. 

ඒ කෙසේ නමුත් මේ සියලු නිවට දනන් ඉදිරියේ හිස නොනැමූ ශ්‍රේෂ්ඨ නාවික හමුදා නිළ දරුවන් කිහිප දෙනෙක් අප අතර සිටීම භාග්‍යයකි. තම රාජකාරිය අකුරට ඉටුකර විශල මුදල් සම්භාරයක් මහ භාණ්ඩාගාරයට හරවා යැවූ මොවුන් අද මුහුදු මංකොල්ලකරුවන්ගේ ගිලටීනයට හසුවී ඇත. Wine, women සහ money ඉදිරියේ හිස නොනැමූ එවන් කීර්තිමත් නිළදරයන්ට අපගේ උත්තමාචාරය පිරිනමන අතරම එවන් පැසසුම් මධ්‍යයේ නාවික හමුදාපති තනතුර පෙනි පෙනී සේවයෙන් විශ්‍රාම යන ශ්‍රේෂ්ඨ  නිළධාරියෙකි රියර් අද්මිරාල් වයි.වන් ජයරත්න. 

ශ්‍රි ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපතිවරයා ලෙස බොහෝ කාලයක සිට නිසි ක්‍රම වේදයෙන් පරිබාහිරව  පුද්ගලයින් විටින් විට එම තනතුර සදහා පත් කරන ආකාරය සැබැවින්ම කණගාටුදායකය. , එයට සමගාමීව නාවික හමුදාවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමද ගැටලු කාරී වනු ඇත.  මෙම  හේතුවෙන් රට තුළට නීති විරෝදී මත් ද්‍රව්‍ය, ආයුධ ගෙන්වීම සහ පුද්ගල ජාවාරම් මැඩලීමද පහසු නොවනු ඇත.  නාවික හමුදාවක ජාතික කාර්යයභාරය හදුනා නොගෙන ඉන් පරිබාහිරව පෞද්ගලික අභිලාශයන් සදහා කටයුතු කල ආකාරය ද මනාව පිලිඹිමුවේ.  
1986 ඔක්තෝබර් මස 20 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවට බැඳුණු වයිඑන් ජයරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ කිර්තිමත් ආදි සිසුවෙකි. ඔහු නාවික හමුදාවේ වසර 35 කට අධික කාලයක් සේවය කොට ඇති අතර එම සේවා කාලයෙන් වසර 11 ක් නැ‍ගෙනහිර ප්‍රදේශයේ සහ වසර 07 ක් යාත්‍රා සහ නෞකා වලද සේවය කොට ඇති මනා පලපුරුද්දක්, දැනිමක් සහ හැකියාවක් ඇති අති දක්ෂ නිලධාරියෙකි. මෙම නිලධාරියා මුලික පාඨමාලාවෙන් පසු රාජකීය නාවික පුහුණු ආයතනය මහා බ්‍රිතාන්‍ය (Britannia Royal Naval Collage, Dartmouth, United Kingdom) වෙත ගොස් පුහුණු වීම් ලබා ඇති 15 වන ශිෂ්‍යභට බඳවා ගැනීමට අයත් දක්ෂතම නිලධාරියා යි. මොහු ඊලාම් යුධ සමයේ පි455, පි453, පි465, පි460 සහ පි462 වේග ප්‍රහාරක යාත්‍රා වල අණභාර නිලධාරි ලෙස සේවය කොට ඇති අතර, එහිදි නිරන්තරයෙන්ම මුහුදු කොටි සංවිධානය සමඟ සටන් කල නිර්භය නිලධාරියෙකි. පසුව 04 වන වේග ප්‍රහාරක යාත්‍රා බලගණයේ පුහුණූ නිලධාරියා ලෙස 1999 වර්ෂයේදි පත් කරනු ලබන ලද්දේද ඔහුගේ මනා පුහුණුවීම් සහ පිරිස් කළමනාකරණයේ දක්ෂතාවය හේතුවෙනි. තවද ඔහු විසින් වර්තමාන නාවික හමුදාවේ විධායක අංශයේ බොහෝ නිලධාරීන් ප්‍රමුඛ, 04 වන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණය,  සතුරා සමඟ නිසි අව‍බෝධයකින් දක්ෂ ලෙස සටන් කිරීමට හැකියාව ඇති කණ්ඩායමක් ලෙස පුහුණු කරවන ලදි. මෙහිදි උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි ප්‍රධාන කරුණක් වන්නේ මොහු විසින් පුහුණුව ලබා දෙන සියළුම නිලධාරීන් සහ නාවිකයින් දෑස් බැඳ තිබියදි පවා වේග ප්‍රහාරක යාත්‍රාවක් තුලට ගොස් නිසි ක්‍රමවේදයන් ඔස්සේ යාත්‍රාවේ එන්ජින් පණගැන්වීම වැනි අපහසු කාර්යයන් ඉතා හොදින් සිදු කිරීමට මොහුටම ආවේණික ක්‍රමයක් ඔස්සේ පුහුණු කර තිබිමයි. එහිදී වේග ප්‍රහාරක යාත්‍රාවක් වෙඩි වැදීමකට හෝ මරාගෙන මැරෙන යාත්‍රාවක් ආසන්නයේ පිපුරුනු විට ප්‍රධාන යන්ත්‍ර ක්‍ෂණිකව ක්‍රියා විරහිත විමට ලක් වු අවස්ථාවකදී, යා‍ත්‍රාවේ කවර හෝ පුදුගලයෙකු නැවත යාත්‍රාවේ ප්‍රධාන යන්ත්‍ර පණගන්වා සතුරුබිමෙන් ඉවත් කර ගැනීමට හෝ නැවත සටනට ප්‍රවිශ්ඨ වීමට කටයුතු කල හැකි ලෙස පුහුණු කර ඇත. සතුරා අතට පත්වන්නට හෝ සතුරා අතින් විනාශ වීමට තිබු බොහෝ යාත්‍රා මෙම පුහුණු කිරීම් හේතුවෙන් එම විනාශයන්ගෙන් ගලවාගැනීමට නාවික හමුදාවට හැකි විය. 
තවද, මෙම බළගණයේ සියළුම දෙනා වෙඩි වැදීම් පිපිරිම් සහ ගිනිගැනීම් හේතුවෙන් සිදුවන තුවාල ගොඩබිමට පැමිනෙන තෙක් යාත්‍රාතුල සිට කළමනාකරණය කර ගැනීමට, එනම් කෘතිම ශ්වසනය දීම, අස්ථී බග්න, පිලිස්සුම්, අධික රුධිර වහනය වැනි අවස්ථාවන් වලදි සුදුසු ප්‍රථමාධාර මඟින් සිදුවිය හැකි ජිවිත හානි වලක්වා ගැනීමට ප්‍රහාරක කණ්ඩායම් පුහුණු කරවන ලදි.
 තවද, සම්ප්‍රදායෙන්  ඔබ්බට යමින් එම්සිස්(MSIS) වැනි අධිතාක්‍ෂණීක අවි පද්ධතීන් වේග ප්‍රහාරක යාත්‍රාවල සවි කර තම නිලධාරීන් සහ නාවිකයින් නිසි පරිදි පුහුණූ කරවා අවම උණ්ඩ සංඛ්‍යාවකින් සතුරා විනාශ කිරීමට පුහුණු කරවන ලදි. මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවිකයින්ගේ සහ නිලධාරීන්ගේ ජිවිත විශාල සංඛ්‍යාවක් සතුරු ප්‍රහාර හමුවේ විනාශ වීමට තිබු අවස්ථාවල ගලවා ගත් අතර නිසි පුහුණු ක්‍රමවේදයන් හේතුවෙන් යාත්‍රා විශාල සංඛ්‍යාවක් ආරක්‍ෂාකර ගැනීමට නාවික හමුදාවට හැකි විය. වර්ථමානයේ ජ්‍යෙෂ්ඨතාවයෙන් මොහුට වඩා කණිෂ්ඨ විධායක අංශයේ නිලධාරීන් මොහුගෙන් පුහුණු වී ඇති අතර ඔහුට විශාල ගෞරවයක් දක්වයි. තවද 2006 වර්ෂයේ සිට 2008 වර්ෂය දක්වා වු කාලසීමාව තුල හතර වන වේග ප්‍රහාරක යාත්‍රා කණ්ඩාමේ අණදෙන නිලධාරියා ලෙස ඊලාම් යුද්ධයේදි විශාල කාර්යයභාරයක් සිදු කරන ලදි. මෙම නිලධාරියාගේ දුර දර්ශී ක්‍රියා කලාපය හේතුවෙන් බොහෝ නිලධාරින්ගේ සහ නාවිකයින්ගේ ජීවිත මෙන්ම මිලියන 500 කට අධික වටිනාකමින් යුතු වේග ප්‍රහාරක යාත්‍රා විශාල සංඛ්‍යාවක්ද සතුරු ප්‍රහාරවලින් ආරක්‍ෂා කර ගැනීමට ඊලාම් යුද්ධයේ තීරණාත්මක අවස්ථාවන්වලදී හැකි විය.  
එමෙන්ම සමුදුර වැනි විශාල නෞකා සදහාද අණදී ඇති මෙම නිලධාරියා නිසි ක්‍රමවේදයන් ඔස්සේ නෞකා සහ යාත්‍රා මෙහෙයවීම පිලිබඳව විශාල අත්දැකීමක් සහ පලපුරුද්දක් සහිතය. තවද උතුරු සහ නැ‍ඟෙනහිර නාවික ප්‍රදේශයන් වල නියෝජ්‍ය ආඥාපති, ආඥාපති වැනි තනතුරු වල කටයුතු කර ඇති අතර එම ප්‍රදේශ වල භුමියේ ස්වභාවය පිළිබඳ මනා අවබෝධයක් පවතින නිලධාරියෙකි. තවද නාවික හමුදා මුලස්ථානයේ 2019 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කටයුතු කරන අවදියේදි ඉතා විශිෂ්ඨ අයුරින් ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ ආරක්‍ෂා කර ගැනීම සදහා නෞකා සහ යාත්‍රා යොදවමින් නිසි කළමණාකාරීත්වයකින් යුක්තව කටයුතු කිරීම හේතුවෙන් නිතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම් විශල ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් ධුරයෙහි සේවය කරමින් සිටින අවස්ථාවේදී ශ්‍රී ලංකාවට අයත් මුහුදු තිරයේදි තෙල් ප්‍රවාහනය කරන නෞකාවක් එනම් නිව් ඩයමන්ඩ් ( New Diamond) නෞකාව තුල ගින්නක් හටගත් අවස්ථාවේදි එය පැතිරීම වලක්වා සම්පුර්ණයෙන් නෞකාව ආරක්ෂා කොට ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ඉවතට ගමන් කිරීම සදහා මොහුගෙන්  ලැබුණු ප්‍රමුඛ දායකත්වය සහ නෞකා පිළිබද ඔහු සතු හසල බුද්ධිය මනා පිටුවහලක් විය.  යම් හෙයකින් එම නෞකා ශ්‍රි ලංකා මුහුදු තීරයෙදි විනාශයට ලක් වුවා නම් ශ්‍රී ලංකා වෙරළ තීරයට දැඩි හානියක් සිදුවීමට ඉඩ තිබුනි. නමුදු මොහුගේ හැකියාව සහ දුරදක්නා නුවණ හේතුවෙන් එම අනතුර වළක්වා ගැනීමට හැකි විය. මෙම නිලධාරියා ආඥාපති නැ‍ඟෙනහිර නාවික පෙදෙස ලෙස සේවය කරන සමයේදි එක්ස්ප්‍රස් පර්ල් (Express Pearl) නෞකා‍ව ගිණිගත් අවස්ථාවේදි වගකිවයුතු රාජ්‍ය  නිලධාරින් ක්‍රියාකල ආකාරය ඉතා මන්දගාමී වන අතර ඉන් සිදු වු හානිය වර්තමානය වන විටද ගණනය කර ගැනීමටත් නොහැකි හානියක් බවට පත් වී තිබේ . එම අවස්ථාවේ  ඔහුගේ දැනුම සහ කුසලතාවය උපයෝගී කරගත්තානම්, එම අනතුරද අවම කරගැනීමට ඔහු අනිවාර්යයෙන්ම කටයුතු කරන බව නිසැකය. නිසි සුදුසුකම් සහිත නිලධාරින් වගකිව යුතු තනතුරුවල රාජකාරි නොකිරිම හේතුවෙන් රටට සිදු විය හැකි අති විශාල හානිය පිළිබද මෙය කදිම උදාහරණයකි. 
රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න නාවික හමුදාවේ ජලශාස්ත්‍රීය අංශයේ ප්‍රධානියාද වූ අතර එම අංශය නාවික හමුදාව තුල ක්‍රියාකාරී අංශයක් බවට පත්කොට එමඟින් රටෙහි සංවර්ධන කටයුතු සදහා යෙදවීමට කටයුතු කර ඇත. වර්ථමානය වන විට එම අංශය මඟින් මුහුදු ආශ්‍රිත සියළුම මිනුම් කටයුතු සිදුකිරීම, මුහුදු සිතියම් නිර්මාණය කිරීම සිදු කරන අතර රාජ්‍ය සහ ‍අනෙකුත් ආයතන සදහා අවශ්‍ය දත්ත නිසි පරිදි ලබාදෙමින් කාර්යක්‍ෂම ලෙස ක්‍රියාත්මක වන ජලශාස්ත්‍රීය අංශයක් නාවික හමුදාවට හිමිකර දීමේ ගෞරවයද ඔහුටම හිමි වේ. තවද ශ්‍රි ලංකාවේ ජල ශාස්ත්‍රිය අංශයට ඉහල ගෞරවයක් සහ වටිනාකමික් ලබාදෙමින් ඔහු, උතුරු ඉන්දීය සාගර කලාපීය ජලශාස්ත්‍රිය කොමිසමේ (North Indian Ocean Region Hydrographic Commission) සභාපති ධුරය 2020 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා හොබවා ඇත.
 මෙම නිලධාරියා සතුරා හමුවේ සංග්‍රාම භූමියේ දැක්වු නිර්භීත භාවය උදෙසා දෙවරක් “රණවික්‍රම” පදක්කමෙන්ද, එක් වරක් රණශුර පදක්කමෙන්ද පිදුම් ලබාඇති අතර ආරක්‍ෂක සේවා අණ සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව, ජාතික ආරක්‍ෂක මාණ්ඩලික පාඨමාලාව ද හදාරා ඇති අතර ජලශාස්ත්‍රීය විද්‍යාව පිලිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාණ්ඩ ‘’A’’ සුදුසුකම් ලැබු ප්‍රථම ම්නුම් නිලධාරියා වේ. ජලශාස්ත්‍රීය විද්‍යාඅංශයේම විද්‍යාපති උපාධියද ඔහු ලබා ඇති මෙම නිලධාරියා කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලය, නාවික සහ සාගරික විද්‍යාපීඨය ත්‍රීකුණාමලය යන ආයතන වල අංශභාර නිලධාරියෙකු, පුහුණු විධායක සහ ආඥාපති වැනි තනතුරු දරා ඇත. තවද 2009 වර්ෂයේ සිට 2011 වර්ෂය දක්වා ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව ආරක්‍ෂක සම්බන්ධිකරණ නිලධාරියා ලෙස ද රාජකාරි කටයුතු මැනවින් ඉටුකොට ඇත. 
මේ අනුව රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න යනු නාවික හමුදාව තුල මේ වන විට සිටින නාවික මෙහෙයුම්, පරිපාලන කටයුතු මෙන්ම අධ්‍යාපනික, වෘත්තීය හැකියාවන් සහ සුදුසුකම් සහිත එකම නිලධාරියා වේ. මෙම සුදුසුකම් සපුරා ඇති කිසිදු නිලධාරියෙකු වර්ථමානයේදි නාවික හමුදාව සතුව නොමැත. මොහු නාවික හමුදාපති වීම තුලින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යයභාරය ක්‍රමවත්ව සහ සීග්‍ර දියුණුවකට ලක්වීමට අවශ්‍ය පදනම වැටෙනු ඇති අතර, ඉන්දියන් සාගර කලාපයේ ශ්‍රි ලංකා නාවික හමුදාවේ කාර්යභාරය මනාව ඉටු කිරිමට හැකි වනු නියතය. 
ශ්‍රි ලංකාවේ ආර්ථිකය උදෙසා ඉමහත් දායකත්වයක් දක්වන සාගර ආර්ථික කටයුතු සිදු කිරීමෙහිලා නාවික හමුදාවේ මෙහෙය සහ සහය සාධනීය අවශ්‍යතාවයක් වේ. ඒ සදහා ශ්‍රි ලංකා මුහුදු තීරය සහ එහි පවත්නා විභවයන් පිළිබදව මනා දැණුමක් සහ පරිචයක් ඇති රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වැනි නිලධාරියෙකුගේ නායකත්වය නාවික හමුදාවට මෙන්ම “සාගර ආර්ථිකය” සම්බන්යෙන් පුරෝගාමීව කටයුතු කරන මා ඇතුළු සහෝදර ප්‍රජාවටද ඉමහත් පිටුවහලක් වනු නියතය. තවද ශ්‍රි ලංකාවේ වර්තමානය වන විට උද්ගත වී ඇති සියළුම අර්බුද වලට මුලික හේතුව වී ඇත්තේ අතීතයේ සිටම නිසි කුසලතාවය සහ හැකියාව ඇති පුද්ගලයින් සුදුසු තැන්වල සේවය නොකිරිමය. 
මුහුදු මංකොල්ලකාරයන් ජයගෙන ඇත. රටට අවැසි, රටට වැඩදයී සැබෑ දේශප්‍රේමිත්වය වෙනුවෙන් තම කොන්ද කෙලින් තබාගෙන රාජකාරි කල එම නිළදරුවන් මෙවන්වූ ශ්‍රේෂ්ඨ හමුදාවකින් ඉවත්කරලීමම ඔවුන්ගේ ජයග්‍රහණයයි. 
මේ පිළිබඳව අඳ ගොළු බිහිරන් සේ සිටින දේශපාලන බලවතුන් සමූහයක් අබියස අපද නිරුත්තරව සහ නිරුවත්ව අවාසනාවේ කදුළු සලමින් සිටිමු. මෙම මංකොල්ලය නොනවත්වා, අපේ රටට තවදුරටත් ඉදිරි අනාගතයක් ගැන සැනසුම් සිතුවිලි ඇතිකරගන්නෙ කෙසේදැයි ප්‍රශ්නාර්ථයකි. 

වත්මන් තරුණ පරම්පරාව ගැන ඇත්තේ කණගාටුවකි. ඔවුන් සිහින මැවූ නිදහස සතුට රජයන සමාජ ආර්ථික වටපිටාවක් නිර්මාණය කිරීමේ වගකීම අප අතින් ගිලිහී ගොස් ඇත. එහි ප්‍රතිවිපාකයන් ඔවුන් දැන් දැන්ම විදවති.ඔවුන් අරගල කරන්නේ එහෙයිනි .”අදහස් මරා නොදැමිය යුතුය”.

විශේෂ ස්තුතිය
ප්‍රධාන කතෘ
“Oceanlust” සගරාව

Spread the love

Leave a Comment

You may also like