දේශපාලන

ස්තූතියි ,තෑන්ක්යූ ,නන්රේ,………. ඩලස් ඇමතිතුමා

Spread the love

ටයර් සෑ වලින් කළු දුමාරයෙන් හා කුණු මිනී මස් ගඳ  රට පුරා පැතිරුණ අසූ අට අසූ නවය  වර්ෂ වල මෙරට සියල්ලෝම ජීවත්වූයේ භීතියෙනි.සැක සංකාවෙනි. තම තමන්ගේ ජීවිත පිළිබඳ අවිස්වාසයෙනි.උදාා වෙන හෙට දවස ගැන එදවස ජීවත් වූ කිසිවෙකුට හැඟීමක් නොතිබුණි.කැන්ගරු නීතිය රට පුරා ක්‍රියාත්මක විය.සුදු වෑන් තුළ සිටි ගෝනි බිල්ලන්  ජීවිත හා සූදු කෙළිමින් සි⁣ටින ලදී.එහෙත් මේ කාලයේදී සිය ජීවිත අවදානම පයිසෙකට ගනන් නොගෙන මර බියෙන් ජීවත්වූ ජනතාව වෙනුවෙන් පෙනී සිටි මාධ්‍යවේදීන් ගනනාවක්ම රට පුරා පැවැති අනීතික වටපිටාවට එරෙහිව මුද්‍රිත අක්ෂරයන්ගෙන් සටන් වැදී සිටි බව අපගේ මතකයට ඒ .ඒ සටන්කාමී මාධ්‍යවේදීන් අද වන විට තමන් සිටි කඳවුර අත් හැර ගොස් වෙන වෙන තැන් වල ස්ථානගත වී ඇති නමුත් අතීතයේ ඔවුන් ජනතාව වෙනුවෙන් සිදු කළ කාර්ය භාරය අඩු තක්සේරුවකට ලක් කළ නොහැකිය.අද ඇතැමුන් ස්ථානගත වී සිටින ජරාජීර්ණ පිළිකනු ගැන අප ප්‍රශ්න නොකරමු.
එදා ඒ පැවැති භීෂණය තුළ මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් කොන්දේසි   විරහිතව පෙනී සි⁣ටි මාධ්‍ය වේදීන් අතර වික්ටර් අයිවන් සුනන්ද දේශප්‍රිය සුනිල් මාධව ප්‍රේමතිලක විමලසිරි ගම්ලත් රෝහිත භාෂණ නන්දන වීරරත්න ප්‍රියජන් සුරේෂ් පෝද්දල ජයන්ත විනී හෙට්ටිගොඩ ඩලස් අලහප්පෙරුම ප්‍රගීත් එක්නැලිගොඩ සීතා රංජනී තිඹිරියගම බණ්ඩාර උවිඳු කුරුකුලසූරිය ධර්ම ශ්‍රී කාරියවසම් කමල් පී අලහකෝන් චන්ද්‍රකුමාර වික්‍රමරත්න  වැන්නන් සිටියහ.මෙි නම් සදහන් අතලොස්සකගේ පමනය.තවත් නම් රාශියකි.මේ මිනිසුන් සිය ජීවිත ගැන නොතකා එදා මර බියෙන් සිටි සමාජය තමන්⁣ට හැකි පමන ආරක්ෂා කරන්නට කැප වූ බව ඔවුන්ගේ අතීත කැරැට්ටුවෙි ගෞරවය වෙනුවෙන් ලියා තැබිය යුතුය.එදා විමලසිරි ගම්ලත් අද විමල් වීරවංශ ලෙස නාමකරණය වී ඇතත් ඔහු එදා මාධ්‍යවේධියකු ලෙස ඉටු කළ කාර්ය භාරය අද වුවද අමතක කරන්නට තරමේ අප ගුණමකු නොවිය යුතුය.එපමනක් නොවේ ඒ රැහේ සිටි ඩලස් අලහප්පෙරුමද සිය සටන්කාමී මාධ්‍ය ජවය අත් හැර සම්ප්‍රදායික දේශපාලනය තුල ගිලී ගොස් අතරමං වී සිටී.අද ඔහු මෙරට ජනමාධ්‍ය ඇමතිවරයාය.
ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා හදිසියේ අපගේ අවධානයට ලක් වූයේ චමුදිත සමරවික්‍රමට සිදු කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් නිසාය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තුල පසුගියදා පැවැති  කැබිනට් මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය වේදීන් හට සිය කාර්ය භාරය ඉටු කිරීමෙිදී යම් එදිරවාදී පාර්ශවයකින් අවදානම් තර්ජනාත්මක තත්වයක් මතු කළ හොත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට පෙනී සිටිනවාදැයි මාධ්‍යවේදියකු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරු⁣මගෙන් ප්‍රශ්න කරන ලදී.
එම ප්‍රශ්ණයට ඔහු පිළිතුරු දුන්නේ මෙහෙමය
“…..කෙනෙක්  යම් අපරාදයක් සම්බන්ධයෙන් ප්‍රශ්ණ කරන කොට ඔහු 
දේශපාලඥයෙක්ද මාධ්‍යවේදියෙක්ද නීතිඥයෙක්ද කියන කාරණාව වැදගත් වන්නෑ.නමුත් මහ ජනතාවට සැබෑ සත්‍ය තොරතුරක් සමාජගත කිරීම නිසා යම් අයෙකු ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවානම් ඒක බරපතල කාරණයක්.
රට තුළ පවතින ප්‍රජාතන්ත්‍රවාදය නිරෝගිද කියන එක ගැන ප්‍රශ්ණ මතු වීමක්….කිසිසේත්ම පොලීසියක ප්‍රශ්ණ කිරීමක් සිදු නොවන බව වගකීමෙන් කියනවා.එහෙම ප්‍රශ්ණයක් ආවොත් කියන්න මමත් එනවා……”
වැඩිදුරටත් මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මාධ්‍යවේදී  චමුදිත සමරවික්‍රම මුහුණ පෑ සිදුවීම ගැනද මෙසේ කීය
“….මා එය පිළිකුළෙන් යුතුව බැහැර කරනවා.එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් වහනය වන්නේ කුණු වූ සමාජ පිරිස් වල දුර්ගන්ධයයි.මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අය ⁣ගැන නිසි විමර්ශනයක් කිරීමට පොලීසිය අසමත් වුව හොත් එහි වගකීම ආණ්ඩුවට එල්ල වෙයි……..”
කෙතරම් ජරා ජීර්ණ ගඳ ගසන වලක වැටී සිටියද කිසියම් තැනැත්තකුගේ හෘද සාක්ෂිය හදිසියේ අවදි විය හැක.එය සිද්ධ වන්නේ නිරායාසයෙනි.
ඩලස් අලහප්පෙරුම ජනමාධ්‍ය ඇමතිවරයාගේ මේ ප්‍රකාශනය තුළද අප දකින්නේ නිද්‍රා ගතව සි⁣ටි හෘද සාක්ෂිය අවදි වීමක් ලෙසය.
එසේත් නැතහොත් මේ පිළිතුර දී ඇත්තේ එදා අසූ අට අසූ නවය භීෂණය පැවැති සමයේ සිටි බොරුල්ල සුපිරි වෙළඳ සංකීර්ණයේ කෙළවරක තිබූ පත්තර කාර්යාලයක සිටි සටන්කාමී මාධ්‍යවේදියා බව අපට සිහිපත් වේ.

Spread the love

Leave a Comment

You may also like