උණුසුම් පුවත්

ලංකාවේ සංවර්ධනයේ පාලම වැටී ඇත්තේ “හනුමා පාලම”  දිගේය.

Spread the love

සිංහලයන් වැඩියෙන්ම ආදරය කරන 
රජවරු දෙදෙනෙක් ඉතිහාසයේ වෙයි.
ඒ , හැබවින්ම ජීවත් වුන දුටුගැමුණු සහ 
මිත්‍යා ප්‍රබන්ධයක් වන රාවණායි.
සිංහලයන් දුටුගැමුණුටත් වඩා ඇතැම්විට රාවණාට ඇල්ම් කරයි. ඒ, ඔහුට අහසින් යාහැකි දඩුමොණරයක් තිබුණු බැවිණි. ඉන්දියාවට ගොස් රාමගේ බිරිඳ සීතාව පැහැරගෙන ආ බැවිනි . ( රාම යනු මහින්ද, රනිල් , මෛත්‍රී ඇතුලු බොහෝ මුල්පෙල දේශපාලකයන් වන්දනා කරන තිරුපති දේවාලේ සිව ලිංගයේ හිම්කරුවු සිව දෙවියන්ගේ අවතාරයකි.)
අපේ අය තරහම හනුමා සමගය. ඒ, සීතාව නැවත අරන් යන්න ලංකාවම ගිනි තිබ්බ බැවිණි. 
හැබැයි ඌට සපෝට් කරපු පාවාදෙන්නා “විභීෂණට” 
දෙයියන්ට සේ වදිති. 
සීතාට නම් පට්ට ලව්ය. 
හැමෝම කැමැති තමන්ගේ බිරිඳත් සීතා වගේ වෙනවාටය. 
ඒ, තමන් හතර අතේ රවුම් ගහලා එනවිට 
ගෙදර බිත්ති හතර ඇතුලත පතිවත රැකන් ඉන්නවාටය .
සිංහලයාගේ මේ හැසිරීම වැරදි නැත. 
පට්ට සංස්කෘතිකය . 
ලෝකේ කොහෙත් ජාතින්ගේ හැසිරීම එලෙසය.
ඓතිහාසික පුරාවෘත්ත තියෙන්නෙම ජාතියක් තුල 
ජාතික අභිමානය ඇති කොට ජාතියක් ලෙස ජනයා 
එක්සේසත් කර ජාතික අභියෝග වලට මුහුණ දීම සදහාය.
මා ජීවත් වන ස්විට්සර්ලන්තයද එසේමය.
ස්විට්සර්ලන්තයේ ජාතික වීරයා විලියම් ටේල්. 
දුටුගැමුණු ගැන සුද්දො අසා නැතිවුවාට විලියම් ටේල්  ගැන 
ඔබ අසා ඇත.
අර “පුතාගේ ඔලුව උඩ ඇපල් ගෙඩියක් තියලා 
දුන්නෙන් විද්ද තාත්තා” තමයි විලියම් ටේල්.
නමුත් එහෙම මිනිහෙක්  කවදාවත් ස්විට්සර්ලන්තයේ ජීවත්වී නැතිය. මිනිහා ගැන තියෙන කතා “රාවණා පරදවයි. 
විලියම් යුද්ධ කරපු තැන්, කාපු බීපු තැන් බුදියගත්ත තැන රටේ එමටය. හරියටම රාවණා ඇල්ල, සීතා එළිය වගේමය.
සීතාවක, රයිගම, ගම්පොල, වන්නිය, කෝට්ටේ බදු චුටි චුටි රාජධානි රාශියක් එකට එකතුවී ප්‍රබල ස්විට්සර්ලන්තය නම් රාජ්‍යය ගොඩනැගීමට කිසිදා ජීවත් නොවුණු මේ ජාතික වීරයා කල සේවය අපරිමිතය.
නමුත් සිංහලයාගෙන් ස්විස්කාරයෝ වෙනස් වෙන්නේ එක කාරණයයකිනි . ඒ ඔවුන් විලියම් ටේල් බදු වීරයන් පාවිචිකරන්නේ රටේ සුභ සිද්ධියටය . 
ජනවර්ග හෝ විවිධ ආගමිකයන් කෙටවීමට නොවෙයි. 
අසල්වැසි රාජ්‍යයයන් තරහ කරගැනීමට නොවෙයි.
ජාතික වීරයන් අපේ නම් පාවිච්චි වෙන්නෙම 
පටු පක්ෂ දේශපාලන අවශ්‍යතා සදහාමය.
අලුත්ම කතාව
 “හදුන්නෙත්තිගේ හනුමා පාලම් කෝලමයි”
හදුන්ව සලකනු ලබන්නේ අනාගත ජජබ රජයක 
මුදල් ඇමතිවරයා ලෙසය. එනම් ආර්ථිකය හසුරුවන ආර්ථික විශේෂඥයා ලෙසය. 
ඔහුට බිස්නස් මැනේජ්මන්ට් ගැන බැචුලර් උපාධියක් වෙයි.
පුරවැසියන් වන අප අවධානය යොමු කරන්නේ,  
කවුද ආන්ඩු බලය දරන්නේ කියන එක ගැන නොව 
කෙසේද ආන්ඩු බලය අභ්‍යාස කරන්නේ කියන එක ගැනය.
හදුන් සමග මගේ පොඩි සම්බන්ධයක්ද තිබෙයි. 
යහපාලන ආන්ඩුව මාව රාජ්‍ය සේවයෙන් අනීතිකව පන්නා දැමුවිට ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියා ජවිපේ වෙනුවෙන් සිය විරෝධය දැක්වු කතිකයා ඔහුය
(පොහෙට්ටු පක්ෂය වෙනුවෙන් ඩලස් අලහප්පෙරුමද පසුකලක සිය විරෝධය දැක්විය ) 
වරෙක ඔහු ජවිපේහි විදෙස් සංවිධානය  වන “එතර අපි ” සංවිධානයේ ඇරයුමින් ඉතාලියේ සංචාරයක යෙදෙන විට   දුරකතනයෙන් කතා කොට ස්විට්සර්ලන්තයටද පැමිණෙන්නේ නම් අපවද බැහැදකින ලෙස ඇරයුමක්ද කලෙමි. 
වෙනත් පක්ෂ මෙන් නොව ජවිපෙ නායකයන් විදෙස් සංචාර කරන්නේ සැප ගැනීමට නොව දේශපාලන කටයුතු මුලික කරගෙන නිසා ඔහුගේ කාලසටහනේ හිස්තැනක් හදිසි ආරාධනා සදහා නොවීය. 
එසේම ඔවුන් තම පාක්ෂිකයන් නොවන අය ආශ්‍රය කිරීමේදීද හරියට ප්‍රවේසම් වෙයි.
මා මේ ටික පැවසුවේ මම දැන් “හනුමා පාලම ” ගැන කතා කරන්නේ හදුන් ගැන වැරදි ආකල්පයකින් නොවන බව පැවසීමටය . නැතිනම් කොතරම් හොද මිතුරන් වුවත් මගේ ජවිපෙ FB මිතුරන් පරල වෙයි. 
” බුදු අම්මෝ, මෙන්න අපි බලය ගන්න යනකොට අපේ අඩු පාඩු හොයනවෝ , අපිට බැරියෝ !” යයි හඬ තලයි. 
මම කියන කාරණය කුමක්දැයි සොයා නොබලා මම කාටහරි කඩේ යන්නේද කියා  සොයා බලයි, මුකුත් හොයා ගන්න බැරිවුනොත් ෆොටෝ කෑල්ලක් හරි හොයාගන්න බලයි.
ඒ  ඉතින් දේශපාලයේ හැටිය .
නමුත් අපි ලියන දේ කියවන හදුන්නෙත්තිලාගේ ආකල්ප වෙනස් වන බව දන්නා හෙයින් දිගටම ලියමි.
ඒ, 
1. තමන්ගේ රජයකින් එබඳු පාලමක් සෑදීම උනන්දු කරනු පිණිසය.
2. වෙන රජයකින් හරි එබදු පාලමක් හදන විට තක්කඩිකමට ඊට එරෙහි නොවනු පිණිසය.
3. වෙනත් රජයක් හරි ඒ සදහා උනන්දු කිරීම පිණිසය.
කෝටි 130 ක් වන ඉන්දියාවේ කෝටි 50 ක පමණ විශාල මධ්‍යම පන්තියක් වාසය කරයි. එය සමස්ථ යුරොපාකරයේ ජනගහනයට සමාන අතර සමස්ත උතුරු ඇමරිකා මහද්වීප ජනගහනයට වඩා වැඩිය . ඔවුන් සංචාරය සදහා දැඩි ලෝලිත්වයක් දරයි.
සංඛ්‍යා ලේඛන අනුව ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් එන්නේ චීනයෙන් වන අතර දෙවෙනියට ඉන්දියාවෙනි. චීන්නු බොහොමයක් සංචාරක වීසා රැගෙන රැකියා සදහාද පැමිණෙන නිසා ඇතැම් විට බහුතරය ඉන්දියානුවන් විය හැකිය. යුරෝපයේද තත්වය එසේමය. 
ඉන්දියානු සංචාරකයන් සල්ලි ආකරයකි.
එසේම හනුමා පාලම අපව ලෝකයට සම්බන්ධ කරන ද්වාරයද වෙයි. එය ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය හරහා යුරෝපයටද අපව සම්බන්ධ කරයි.
චිනයේ ” වන් බෙල්ට්, වන් රෝඩ් ව්‍යාපෘතියටද අප එමගින් සම්බන්ධ වෙයි. 
හනුමා පාලම නිසා චීනය අප සමග තරහ වනු ඇතිය යන්න දේශපාලකයන් විසින්ම මැවූ හිතලුවකි.
සැබැවින්ම එබදු පාලමක් හදයි නම් දැඩිම විරෝධය පානු ඇත්තේ ඉන්දියාවේ සිව සේනා පක්ෂයයි. 
ඒ සේතු සමුද්‍රම් හරහා ලංකාව හා ඉන්දීයාව හාවුන දවසට ඉන්දියාවට මහා දුර්භාග්‍ය කාලයක් උදාවන බවට හින්දු ග්‍රන්ථ වල ඇති සදහනයි.
එබදු මිත්‍යා මතයක් ඉන්දියාවට කලමනා කරගත හැකිනම් ඒතරම්ම ආන්තික ආගම්වාදී නොවන ලංකාවට නොහැකි වීමට හේතුවක් නැත.
මේ පාලම නිසා හුදු සංචාරක කර්මාන්තය පමනක් නොව වානිජ, කාර්මික හා කෘෂිකර්මික ලෙස ලබා ගත හැකි අභිවෘද්ධියද ඉහලය.
ඒ සදහා ඉන්දියාව විසින් ඉන්දියාවට වාසි වන ලෙස ගිවිසුම් සාදා අපේ කණ අත්සන ඉල්ලු විට  ලබා දෙනවා වෙනුවට පාලම ගොඩනැගීම සදහා අපි විසින් සැලසුම් සකස් කර වානිජ හා කර්මාන්ත සදහා අප විසින් ගිවිසුම් සකස් කර ඉන්දියාවේ කැමැත්ත ගත හැකි තැනට අපි උපායශීලී විය යුතුය.
අනාගත ජජබ හෝ සජබ හෝ වෙනත්  රජයකින් පුරවැසියන් බලාපොරොත්තු වන්නේ එයයි.
එසේ නැතුව හුදු දේශපාලන බලය ඉලක්ක කරගෙන ව්‍යාජ ඉන්දියානු ව්‍යාප්තවාදයක් කර ගසා ගෙන යාම ජාත්‍යන්තර භූ දේශපාලනය ගැන අදාල පක්ෂ සහ පුද්ගලයන්ගේ නොදැනුවත්භාවය සහ සහසික ආකල්ප පෙන්නුම් කරයි.
නැවතත් විමල් හා ගම්මන්පිල වර්ගයේ තුට්ටු දෙකේ ව්‍යාජ දේශප්‍රේමිත්වයක් සදහා ඇති පසුගාමි ලෝලිත්වය පෙන්නුම් කරයි.
ලංකාවේ පසුගාමිත්වය සදහා දැවැන්ත කාර්ය බාරයක් කරන ආගම සහ දේශපාලනය අතර ඇති සම්බන්ධය කැඩීම සදහා පුරවැසියන් විසින් දැවැන්ත අරගලයක් කරයි.
එසේම බල පෙරේත ව්‍යාජ ජාතිකවාදින්ගෙන් මවුබිම බේරා ගැනීමට පුරවැසියන් කරන සටනද ඊට නොදෙවෙනිය. 
වඳ කොත්තු, වඳ බ්‍රා, දොස්තර සාෆී කේස් වලට එරෙහිව සටන් කලේ පුරවැසියන් මිස දේශපාලන පක්ෂ නොවේය.
චින්තන ධර්මදාසලා නිර්මාල් දේවසිරිලා බලාපොරොත්තු වන නවීන (ලිබරල්) ලංකාවට මේ අංගත් එකතු කරගනු ඇතැයි සිතමු.
ලංකාව නවීන රාජ්‍යයක් කිරීමට නම් Reforms පමණක් මදිය. ඒ සදහා Revolution එකක්ද කලයුතුය. 
මම එය “Magic Revolution ” ලෙස නම් කරමි. 
මන්ද එය සමාජවාදයෙන් , ධනවාදයෙන් හෝ 
සමාජ-ප්‍රජාතන්ත්‍රවාදයෙන් කල නොහැකි නිසාය.
එය අමුතුම තාලයකින් අමුතුම සංකල්ප වලින් අමුතුම විධි උපක්‍රම වලින් කලයුතු නිසාය.
කෝටි දෙකක් වන ජාතියක එබඳු හැකියාවන් ඇති 
වැඩ්ඩෝ නැති වෙන්න බැරිය.
ලංකාවට නවීන රාජ්‍යයක් වීමට බැරිවුනේ 
වැඩ්ඩෝ නැති නිසා නොවේය.
වැඩ්ඩන් හදුනා නොගන්නා නිසාය.
හදුනා ගත්තත් වැඩක් නොගන්නා නිසාය.
දේශපාලකයන් අනික් ඔක්කොටම වඩා දන්නා මහදැනමුත්තතෝ බව ඔවුනුත් ඔවුන්ගේ පාක්ෂිකයනුත් විශ්වාස කරන නිසාය. 
විප්ලවීය වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කලහැකි විෂනරි, 
ඇට දෙක සහිත නායකයෙක් තවමත් බිහිවි නැති නිසාය.
එයාලගෙ සංකල්ප තමයි සංකල්ප, අදාල ක්ෂෙත්‍ර වල ඉන්න ප්‍රවීනයෝ කරන්න ඕනේ එම සංකල්ප හරි හෝ වැරදි වේවා වන්දි භට්ට ප්‍රශස්ති ගී කියමින් කර ගහගෙන යාම කියා සිතති. 
විවෙචනය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස දකියි. කුප්පවයි.
හදුන්නෙත්තිගේ හනුමා පාලම් කතාවත් එලෙසමය.
මේවා නිවැරදි කිරීමට අදාල පක්ෂ වල දැනුම් තේරුම් ඇත්තෝ ක්‍රියාකරත්වා.
යමෙක් පාලමේ නමට අකමැති නම් රටවල් දෙකේම පුජනීය චරිතයක් වන සීතා ගේ නමින් පාලම නම් කල හැකිය. 
මේ පාලම ලංකාවේ සංවර්ධනයට ඉවහල් කරගන්නේ කෙසේද යන්න ගැන යමෙකුට  දැනගැනීමට අවශ්‍ය නම් අපට පැය විසිහතරක් වුවද කරුණු දැක්විය හැකිය.
යමෙකුට ඒකෙන්  අපේ රටට මේ මේ විදියට කෙලවෙයි කියා අදහස් දැක්විය හැකිනම් ඒ මත ඉවසන්නද අප සුදානම්ය.
ඉන්පසු තරාදියට දමා කිරා සුදුසු දේ කරමු.
එතකම් බොරු බිල්ලෝ මවා ජාතිය තව තවත් පස්සට ඇදගෙන යාමෙන් වලකිමු .
ස්තුතියි !
නිලංග සමරසිංහ විසිනි.

Spread the love

Leave a Comment

You may also like