ලංකාවත් නිකං උණුවතර හැලියේ ඉන්න කකුලුවා වගේය.
මහා දාරානිපාත ආර්ථික අර්බුදයක් රට මත කඩා වැටීමට නියමිතය.
නමුත් සියලු පක්ෂ සහ නායකයන් ගනන් හදන්නෙ අර්බුදය පාරුවක් කරන් බලය අත් කර ගන්නේ කෙසේද කියාය.
Race එකේ ඉදිරියෙන්ම සිටින්නේ අනුර කුමාර ප්‍රමුබ JVP යය.
හෙට ඡන්දයක් තිබුනොත් ආන්ඩු බලය ඔවුන්ටයයි ඔවුන් උදම් අනයි.
ඊලගට ඉන්නේ සජිත් ප්‍රමුබ සජබෙයි.
ලඟදි දවසක මහා උද්ඝෝෂණයකට ගෝල් පේස් වටරවුමට ආපු සෙනඟ කන්දරාව නිසා ඔහුගේ ඇහ කන නිලංකාර වී ඇත. ඔහුත් හිතන්නෙ ඊලග ආණ්ඩුව ගේමක් නැතිවම තමන් අතේ කියාය.
එහෙමටම කියලා පෙන්නන්න ජනතා බලයක් නැතත් බඹරා වැල්ලේ කැරකිලා ආණ්ඩු බලය තමන් අතට පත් වේවියයි හීනයක චම්පිකගේ 43 සේනාංකයද වෙයි.
ගෝඨාභයද ප්‍රමුබ පොහොට්ටුවද ගේම අත නොහැර හමුදා ආණ්ඩුවක් හරි අටවන් තව අවුරුදු 5 ක් 10 ක් අදින විදියක් හොයමින් සිටියි.
සමහර විට හොදින් (ව්‍යවස්ථා වෙනසකින්) නැත්නම් නරකින් (තමන්ගෙ ආණ්ඩුව තමන් විසින්ම මෙහෙයවන හමුදා ක්‍රමන්ත්‍රණයකින්) එබන්දක් කිරීමට මේ දිනවල පිඹුරු පත් සැකසෙයි.
“රටේ ආර්ථික අර්බුදය තමන් විසින් ආණ්ඩු බලය අත්පත් කර ගත් පසු විසදමි” යන්න ඔවුන් ප්‍රකාශ කරයි.
සජිත් ,අනුර ,චම්පික යන තිදෙනාම තමන්ට ආණ්ඩු බලය අත්වුවොත් රට ගොඩදානවා කියා හිතන්නෙ සහ කියන්නේ අවංකවමය. හැකි බැරි කම වෙනම කතාවක්ය.බලය අභ්‍යාස කරන්න හරි හමන් අවස්ථාව නොලැබුණ සියලු පාර්ශව එසේ සිතීම අසාධාරණ නොවෙයි.
දැන් ඊයේ පෙරේදා සිට අමුතු කතාවක්ද යයි……….
ඒ, රට මේ අර්බුදයෙන් ගොඩ ගත හැක්කේ යම් යම් පුද්ගලයන් හෝ පක්ෂ බලයට ගෙන ඒමෙන් නොව “පොදු වැඩපිළිවෙළක් “ ක්‍රියාත්මක කිරීමෙන් බවය.
මේ අදහසේ සුජාත පියවරු වන්නේ රනිල් ,චම්පික හා මෛත්‍රී ඇතුලු පිරිසකි.
එනම් එජාප, ශ්‍රී ලංකා, 43 සේනාංකය හා සිවිල් සංවිධානයි .
හොඳින් බලන්න,
ඔවුන් අර පලමු කන්ඩායමින් වෙනස් වන්නේ අද හෙට එනම් මෑත දිනකදී ආණ්ඩු බලය තමන්ට හෝ තමන් මුලික කරගත් සන්ධානයකට අත්පත් කර ගැනීමට නොහැකි යයි සිතන පිරිසයි.
මේ “පොදු වැඩපිළිවෙළ ” යන්න පොදු ජනයාගේ වැඩපිළිවෙළක්ද නොවේ.
ඔවුන් යෝජනා කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න පක්ෂ වල පොදු වැඩපිළිවෙළකි .
ඊට හේතුව ලෙස සදහන් කරන්නේ
1. මුල්‍ය බලය පාර්ලිමේන්තුව සතුවීම
2. සියලු ජන කොටස් නියොජනය කරන නියෝජිතයන් ඔවුන් වීම.
මේ කාරණා ද්විත්වයම සෛද්ධාන්තිකව නිවැරදිය.
නමුත් ප්‍රායෝගිකව වැරදිය.
ඊට හේතු නම් ……..
1. මේ දක්වා වසර 73 ක් ලංකාවේ කිසිම අර්බුදයකට පාර්ලිමේන්තුවෙන් විසදුම් දී නැත.
2. සෑම අර්බුදයටකදීම විසදුම් දෙන්න කියා “සර්ව පාක්ෂික සමුළු” බදු රට ලෝකය රවටන සංදර්ශන මිස කිසිවක් ඔවුන් කර නැත.
3. ඔවුන් සාමුහිකව එකඟව කර ඇති කාරණා වන්නේ පඩි හා දීමනා වැඩි කර ගැනීම, වාහන බලපත් ලබාගැනීම සහ විශ්‍රාම වැටුප් හදා ගැනීම බදු ජනතාවට නොව ඔවුන්ට වාසිදායක “පොදු වැඩපිළිවෙළවල්” පමණි.
4. මුදල් බලතල පාර්ලිමේන්තුව සතු වුවත් එය තමන්ට ඕන විදියට ජනපති, අගමැති, මුදල් ඇමති සහ මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් මෙහෙය වන බව අපි දනිමු.
කොයි ආණ්ඩු කාලෙත් එය එසේමය.
එබැවින් මේ “පොදුවැඩපිලිවෙලවල්” යනු ඉපදෙන්න කලින්ම අංග විකල වු, නියත අවකල් මරණයක් සහිත දරුවන්ය . දකුණ, වම, සමාජවාදී, ධනවාදී, ලිබරල් නියෝලිබරල් ආදිලෙස අටෝ රාසියක් කල්ලි කාන්ඩායම් වලට බෙදි ඉන්දියානු, චීන අමරිකන්, බටහිර ලෙස පක්ෂපාතී කම් ගිවිසුම් ගතව සිටින පක්ෂ සහ පුද්ගලයන් “පොදු වැඩපිළිවෙළක් ” ඉදිරිපත් කිරීම ආඩි හත් දෙනාගේ කැඳහැලියක්ම වනු ඇත.
මේ කැඳ හැළිය ඓතිහාසික “ආඩි කැඳහැළියෙන්” වෙනස් වනුයේ වර්තමාන ආඬියෝ තමන්ගේ මල්ලෙන් වැඩි වැඩියෙන් හැළියට එකතු කරන්නත් හැදි ගෑමෙදි වැඩිපුර වේලාවක් තමන් සතු කර ගැනීමට උත්සහ කිරීමෙනි.
වර්තමාන ආර්ථික අර්බුදයට අපේ රටේ දේශපාලන නායකයන් හා පක්ෂ ගැනීමට යන මේ “විසදුම්” දෙකටම යම් සෛද්ධාන්තික වලංගුභාවයක්ද තිබෙයි.
1. අනුර කුමාර ඇතුළු ජවිපෙය, සජිත්ගේ නායකත්වයෙන් යුතු සජබ, චම්පික තවමත් තමන්ගේම ආණ්ඩු බලයක් අත්හදා බලා නොමැති වීම.
2. ජාතික අර්බුදයක් සදහා “පොදු වැඩපිළිවෙළක් ” කවදාවත් ක්‍රියාත්මක කර නොමැති වීම.
ඉතින් මේ අවස්ථා දෙකත් අත්හදා බලලාම බංකොලොත් වීමේ Option එක දැන් ජනතාවට ලබාදීමට යයි.
ලේඛකයා පෞද්ගලිකව මේ අවස්ථා දෙකත් ශ්‍රී ලංකාවට ලබාදිය යුතුය යන මතයේ සිටියි.
වලකට වැටීමට පෙරද පුද්ගලයකු ගලවා ගත හැක.
වලක වැටි හොදටම තුවාල වී සිටියදීද බේරා ගත හැක.
නමුත් පලමු අවස්ථාවේදී දෙවන අවස්ථාවේදී තරම් කෘතඥතාවයක් වටිනාකමක් ගැලවුණු පුද්ගලයාට ඇති නොවෙයි. පාඩමක් ඉගන නොගනීයි. මතක හිටින්නේද නැත.
ලෝක ඉතිහාසයේ කිසිම රටක් එම රටේවු සියලු දේශපාලන පක්ෂ එකතුව සෑදු “පොදු වැඩපිළිවෙළකින්” ගොඩ ගොස් නැත.
එහෙම උදාහරණ ලෝකේ නැත.
සංවර්ධිත සියලු රටවල් සංවර්ධනය වුයේ “තනි වැඩපිළිවෙළල්” වලිනි.
යකඩ මිනිහෙක්/ගැහැනියක් හෝ ආයතනයක් දුන් අසහාය යකඩ නායකත්වයන් නිසාය.
ඔවුහු “යකඩ වැඩපිළිවෙළවල්” ක්‍රියාත්මක කලහ.
ජනප්‍රිය ප්‍රවාද පසු පස නොගියහ.
මිනිසුන් තරහ වෙයි, හු කියය, Strike කරයි යැයි බිය නොවුහ.
තිත්ත කසාය බොන්න ජනයා කැමැත්ත පල කරන්නේ බොන්න නියමිත කසාය කෙතරම් තිත්තදැයිද සහ කොතරම් කාලයක් බොන්න වේදැයි නොදැනය.
තිත්ත දැනෙන්න දැනෙන්න ජනතා ප්‍රතිරෝධතා එනු ඇත. ඒවා සමනය කරන ජාතියක් ජයග්‍රහණය කරා මෙහෙයවීම යකඩ වැඩකි.
ප්‍රතිඵල එන්නේ වසර 20 ක් තිහක් ගතවූ පසුය. ජනතාව “හොද” කියන්නේ එදාටය.
(ජනතාව කෙබඳුදැයි පාලකයාට අවබෝධයක් නැතිනම් මෝසෙස් විසින් ඊශ්‍රායල් ජනතාව ඊජිප්තුවේ වහල්කමින් මුදවාගෙන පොරොන්දු දේශයට රැගෙන ඒමේදී මිනිසුන්ගෙන් කාපු පරිප්පුව කියවන්න.)
ජනතාවට “සමාජ ප්‍රජාතන්ත්‍රවාදීව” සුභ සාධන කටයුතු කල හැක්කේ ඒ සදහා ප්‍රමාණවත් තරම් ආර්ථික වර්ධනයක් අත් පත් කරගත් පසුවය.
ඒ සදහා එක පරම්පරාවක් දැඩි කැපවීමක් කල යුතුය.
පොදු වැඩපිළිවෙළක් හදනවානම් අන්න ඒකට වැඩපිළිවෙළක් හදන්න.
දැනට දැඩි මොළ සේදීමකට ලක්ව සිටින ජනයා සිතා සිටින්නේ IMF එකට ගිය ගමන් නැත්නම් අනුර හෝ සජිත් හෝ පාඨලී ආ විගස හෙට රටේ ප්‍රශ්න විසදෙනු ඇති බවය.
උත්ප්‍රාසය වනුයේ එසේ නොවන බව දැන දැනම එසේ වන බව විස්වාස කිරීමය.
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නම් යකඩ වැඩපිළිවෙළක් අවශ්‍යය.
එය හොදින් සිද්ද වෙන්න නම් සංවරණ – තුළණ (Check & Balance )ක්‍රමයක් අවශ්‍යය. ඒ සදහා ශක්තිමත් විවේචනයක්ද අනිවාර්යය .
අප විසින් අපවම රවටා ගැනීමට තිත තැබිය යුතුව ඇත.
සැබෑ විසදුම සවභාවිකවම එලියට එමින් පවති.
ෆීනික්ස් අශ්වයා අලුමතින් නැගිටිනු ඇත.
වෛද්‍ය නිලංග සමරසිංහ ලියයි.