මහා බ්‍රිතාන්‍යයේ අධිකරණයක් මගින් පසුගිය දිනක දුන් නඩු තීන්දුව අපේ රටේ ජන මාධ්‍යයට හා පොලීසියට ඉතා වැදගත් වන තීන්දුවක් ලෙස සැළකිය හැකිය.මේ තීන්දුව හා සබැඳි අපරාදය
සිදුවන්නේ පසුගිය වසරේ ජුනි මාසයේදිි. ඒ අපරාදය වූයේ කාන්තාවන් දෙදෙනෙකු සාහසික ලෙස ඝාතනය කිරීමය.ඝාතනය වූ කාන්තාවන් ගේ සිරුරු ලන්ඩනයෙි වෙම්බිලි හි වනගත ප්‍රදේශයක සඟවා තිබුණි.මෙලෙස ඝාතනය කර තිබුණේ බී.හෙන්රි නම් වූ හතලිස් හය හැවිරිදි හා විසි
හත් හැවිරිදි ස්මෝසන් නම් කාන්තාවන් දෙදෙනාය.මෙම ඝාතන සම්බන්ධයෙන් පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඝාතනයට ලක් වූ කාන්තාවන් ගේ සහෝදරයා වේ.ඔහු ඩී.හුසේන් නම් දහනව වියැති තරුණයෙකි.
මෙම සාහසික අපරාදයට හේතු වූ කාරණයද විශේෂිතය.එහිදී එම ඝාතන කිරීම සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් තරුණයා ප්‍රකාශ කර ඇත්තේ ලොතරැයි ජයග්‍රහණයක් ලැබීමට නම් මාස හයකට වරක්වත්
කාන්තාවක ගෙන් බිලි පූජාවක් කරන ලෙසට තමන්ට යක්ෂයකු උපදෙස් දුන් බවත් එය ඉටු කරන බවට තමන් විසින් ලේ වලින් අත්සන් තබා ගිවිසුම් ගත වූ බවය.එම ගිවිසුම පරිදි තමන් විසින් සෙහොයුරියන් දෙදෙනා ඝාතනය කර බවද ඔහු පොලීසියට පාපොච්චාරණය කර තිබේ.
මෙවැනිම සිදුවීමක් මීට වසර තිහ හතලිහකට පෙර අපේ රටේද සිදු වූ බව අපට මතකය.ඒ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේය.ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්
ජනරාල්වරයකුත් ඔහුගේ බිරිඳ හා ආරක්ෂාවට සිටි කෝප්‍රල් වරයකුද වෙඩි තබා ඝාතනය කොට තිබුණේ මෙම මේජර් ජනරාල්වරයාගේම පුත්‍රයා විසිනි. මෙම ඝාතනය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වූ මේජර් ජනරාල් වරයාගේ පුත්‍රයා පොලීසියට ප්‍රකාශ කර තිබුණේ යක්ෂයෙකු ගෙි උපදෙස් මත තමන් විසින් මෙම ඝාතන සිඳු කළ බවය.
ලන්ඩනයේ සිඳු වූ ඝාතන පිළිබඳව පොලීසියට ආරංචි වීමෙන් පසුව එම අපරාධ ස්ථානයේ ආරක්ෂාව සඳහා සාමාන්‍යය පොලිස් නිළධාරීන් දෙදෙනෙකු රාජකාරියේ යොදවා තිබේ.ඒ ඩෙනිස් ජැෆර් හා ජේම්ස් ලුවිස් නමි වූ පොලිස් නිළධාරීන් දෙදෙනාය.මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා සිය රාජකාරිය අතරතුර ඝාතනයට ලක් වී සිටි කාන්තාවන් දෙදෙනාගේ සිරුරු දුරකතන මගින් ඡායාරූප ගත කොට තිබේ.එසේම එම පොලිස් නිළධාරීන් දෙදෙනාගෙන් එක අයකු මෘත දේහ පසුබිමේ සිටින ආකාරයට තම මුහුණ පෙනෙන ලෙසට ‘ස්වයං රූ” ගෙන ඇතැයිද වාර්තා වේ.ඔවුන් විසින් එලෙස ගන්නා ලද ඡායාරූප පොලීසියේ පිරිසකගෙන් සමන්විත වට්ස් ඇප් ගෘපයකටද මුදා හැර තිබේ.මෙම ඡායාරූප සමූහය තුළ මෘත දේහයන්හි නිරුවත් දර්ශනද ඇතුළත් වී තිබූ බවද වාර්තා වේ.
කෙසේවෙතක් මෙම සිද්ධිය බ්‍රිතාන්‍යය පොලීසියේ අවධානයට ලක් වීමත් සමගම එම පොලිස් නිළධාරීන් දෙදෙනා වැඩ තහනමකට ලක් කොට ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගන්නා ලදී.එම සිදුවීම පිළිබඳව පොලිස් නිළධාරීන්ට එරෙහිව පැවැති නඩු විභාගයෙන් අනතුරුව ඔවුන් වැරදි කරුවන් කොට දඬුවම් කෙරිණි.එහිදී එකි අයෙකුට වසර දෙකයි මාස නවයක් ලෙසට සිර දඬුවම් පමුණුවා තිබේ.
මෙම නඩු තීන්දුවේදී විනිසුරු ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබේ.ඒ මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා විසින් කයිවාරු දෙඩවීමකට හා ඉතා සිල්ලර පහත් ජනප්‍රියතාවක් සඳහා මරණයට පත්වූවන්ගේ පෞද්ගලිකත්වය නොසළකා තිබීම අප්‍රියජනක හා සාතිශය කණගාටුවට හේතු වන කාරණයක් බවය.
මෙම අධිකරණ විනිශ්චය තුළින් මෙරට බඩජාරී වාහිනී වලට හා පොලීසියටද තැන නොතැන නොබලා “ස්වයං රූ” ගන්නන්ටද ඉගෙනගත හැකි පාඩම් බොහෝය.මානව ශිෂ්ඨාචාරයේ ඉහළ තලයේ පුරවැසි වගකීම කවරේද යන්නටත් එම තීන්දුව ප්‍රබල හා වැදගත් උදාහරණයකි.මෙරට කිසියම් අපරාදයක් වූ විට අපරාදය වූ ස්ථානයේ සිට නාට්‍ය පෙන්වන පොලිස් නිළධාරින් වින්දිත පාර්ශවයන්හි පෞද්ගලිකත්වය තඹ දොයිතුවකට ගනන් නොගන්නා බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.
මෙහිදී තවදුටත් වින්දිතයන්ගේ අප්පා ආතා කිරි අත්තා මීමුත්තා ගේ පවා පැටිකිරිය අනාවරණය කරමින් බඩජාරී වාහිනී සිඳුකරන ශික්ෂණයක් නැති වනචාරී ප්‍රචාරණයද ඇතුළත්ය.
මෙරට පොලීසිය මාධ්‍ය හා පුරවැසියන් සංවර්ධනය හා ආවරණය විය යුතු වන්නේ මෙවැනි වටිනාකමැති ආචාර ධර්ම හා ඒ පනවන ලද නෛතික අණ පනත් වලිනි.සංස්කෘතික දේශපාලනික හා ආර්ථික කාරණා නොසලකා අනෙකාට ගරු කරන ශක්තිමත් ශිෂ්ටාචාර සමාජයක් හැදෙන්නේ එවිටය.
එසේ නොමැතිව රට පුරා ඇවිදින මං තීරු හැදුවාට අධිවේගී මාර්ග තැනුවාට අර්ථවත් මානුෂීය සබඳතාවලින් පිරුණු සැබෑ මිනිසකු නිර්මාණය නොවෙන බව ලංකා දවසේ අදහසයි.