සිනෝ ෆාර්ම් එන්නත පිළිබදව පමණක් සිදු කරනු ලබන පර්යේෂණයකින්, එය ලොව ඇති හොදම එන්නත බවට තහවුරු වෙන්නේ නැහැ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අදාල පර්යේෂණය සිදුකර ඇත්තේ සිනෝ ෆාර්ම් එන්නත ගැන පමණයි. එන්නත් අතර සංසන්දනාත්මක පර්යේෂණයක් සිදු කර නොමැති බැවින්, ජපුර පර්යේෂණ ප්‍රතිඵල භාවිතා කර, චීන වැක්සීනය “හොඳම වැක්සීනය” බව හැඟවීමට යොදා ගැනීම වැරදියි.
ශ්‍රී ලංකාවේ රැකියා වෙළෙඳපොළ නොවෙනස්ව තිබියදී, වැක්සීනය හේතුවෙන් රැකියා සදහා ශ්‍රමිකයන් යැවීමට නොහැකිවීම බරපතල ගැටලුවක්. යුරෝපයේ සහ මැදපෙරදිග බොහෝ රටවල් එම රටවල් වලට ශ්‍රමිකයන් ගෙන්වීමේදී චීන වැක්සීන පිළි නොගන්නා බැවින්, මෙලෙස ශ්‍රමිකයන් යැවීමට නොහැකි වී ඇති බව වාර්ථාවේ. මේවනවිටත් රැකියා ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් කොවිඩ් නිසා ඇහිමිව ඇති අතර, ඊට හේතුව රැකියා වෙළදපලේ අඩුවීමකට වඩා ශ්‍රමිකයන් යැවීට නොහැකිවීම බව තහවුරු වී ඇත. එබැවින් චීන වැක්සීන මත සම්පූර්ණ බර තැබීම වෙණුවට, අවම වශයෙන් ලොව පිළිගන්නා එන්නත්, විදෙස්ගත වීමට අපේක්ෂිත ශ්‍රමිකයින්ට හෝ ලබා දීමේ වැඩපිළිවෙළක් වහා ඇරඹිය යුතුය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ඉතා මන්දගාමී ස්වභාවයක් පෙන්වන අතර තීරණ නොගන්නා නිළධාරීන් හොඳම නිලධාරීන් බවට පත් වීමේ තත්වයකට පත්ව තිබේ. ඉහල සෞඛ්‍ය බලධාරීන්ගේ මෙකී දියාරු ප්‍රතිපත්ති හේතුවෙන් රජය විසින් ප්‍රතිපාදන වෙනකර ඇති උපකරණ සහ සැපයුම් පවා සෞඛ්‍ය සේවාට නොලැබී යෑමේ අනතුරකට පත්ව ඇත. ප්‍රභේද පරීක්ෂණ සදහා උපකරණ ලබා නොදීම හේතුවෙන් අප අඳුරේ අතපත ගාමින් සිටී. PCR ධාරිතාව වැඩිකිරීම සදහාත්, අනෙකුත් රෝහල් අවශ්‍යතා සපුරා ගැනීම සදහාත් ලබා දී ඇති ප්‍රතිපාදන ටෙන්ඩර් මණ්ඩල තීරණ නොමැතිව මාස ගණන් කල් ගත වෙමින් තිබේ. මේ හේතුවෙන්ම අප නැවත හතරවෙනි රැල්ලකට අත වනමින් සිටින අතර, එවන් තත්වයක් ඇතිවුවහිත් “නොකර සිටි නිළධාරී” ඊට වගකිවයුතුය.