ගල්කිස්ස ප්‍රදේශයේ වයස අවුරුදු 15ක එම දැරියව ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 7 වනදා ගල්කිස්ස පොලීසිය මගින් ප්‍රථමයෙන් විමර්ශන ආරම්භ කර තිබුණි. මෙම වයස අවුරුදු 15ක දැරිය අන්තර්ජාලය හරහා ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධිය මාධ්‍ය මගින් වාර්තා කල අතර එම බාලවයස්කාර දැරිය දූෂණය කළ සල්ලාලයන් සෙවීම අදිසි හස්තයක් විසින් නවතා තිබෙන බවට රාවයක් තිබේ. දැනට හෙළිදරව් වී ඇති සාක්‍ෂි අනුව මෙම 15 හැවිරිදි දැරිය දූෂණය කළ පිරිස මේ වන විට 50 අධික වන බව පැවසේ. දණ්ඩ නීති සංග්‍රහයේ 363(ඉ) කාණ්ඩයේ 1995, නො.22 සංශෝධිත පනතට අනුව ගැහැනු ළමයා අවුරුදු 16ට අඩු නම් කැමැත්ත ඇතුව සිදු කෙරෙන ලිංගික සංසර්ගය ද ස්ත්‍රී දූෂණය යටතට අයත් වේ. ස්ත්‍රී දූෂණය සිදු වූ බව ඔප්පු කිරීමට සංසර්ගය සිදු වූ බවට සාක්‍ෂි පමණක් ප්‍රමාණවත් වේ. එහෙත් වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වේ දැයි බලවත් සැකයක් ජනතාව තුල තිබේ.
විශ්ව ළමා ප්‍රඥප්තිය, ලංකාවේ ළමා ප්‍රඥප්තිය වැනි ප්‍රඥප්තීන්ට අනුව ළමයෙකුට සිය පැවැත්මට අවශ්‍ය අයිතිවාසිකමක් ලබාගැනීමට, ආරක්‍ෂාවට අවශ්‍ය අයිතිවාසිකම් ලබාගැනීමට, සංවර්ධනය වීමට මෙන්ම සහභාගි වීමට ආදී වශයෙන් විවිධ වූ අයිතිවාසිකම් කොතෙකුත් ඇත. එහෙත් ළමයින් බොහෝසෙයින් අපයෝජනයට පත් වන අතර අපයෝජකයෝ නීතියෙන් බේරී පළා යති. ශ්‍රී ලාංකික සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කණ්ඩායම ළමයින් ය. ළමුන් අපයෝජනයට ලක්වීමට ඇති ප්‍රවනතාවය ඉහලය. ශ්‍රී ලංකාවේ 2020 වසරේදී ස්ත්‍රී දූෂණ 1,953 ක් ඇතුළුව ළමා අපයෝජන සිද්ධීන් 2,055 ක් වාර්තා වී ඇති අතර එක් වරදකරුවෙකු හෝ නීතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය අපොහොසත් වී තිබේ. ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිද්ධීන් වැඩිවීම මෙන්ම අපයෝජකයන් නීතියේ සිදුරින් බේරී පළා යාම රටේ ළමා ආරක්‍ෂණ වගකීම දරන ප්‍රධාන අධිකාරිය වන ජාතික ළමා ආරක්‍ෂණ අධිකාරියේ දුර්වළතාවක් බව පෙනී යයි.
2020 වසරේදී කොල්ලුපිටිය පොලිසිය විසින් බාල වයස්කාර පිරිමි ළමයින්ට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත ඉංග්‍රීසි ගුරුවරයෙකු මෙන්ම රූපවාහිනියේ ළමා රියැලිටි වැඩසටහනක නියම සැලසුම්කරුවෙකු ලෙස කටයුතු කල නිරන්ත එදිරිසිංහ නම් පුද්ගලයෙකු අත් අඩංගුවට ගන්නා ලදි. මොහුගේ පන්නිපිටියේ නිවසේ අල්මාරියක තිබී දරුවන්ගේ දර්ශන ඇතුළත් අසභ්‍ය සීඩී තැටි 130 ක් පමණ පොලිසිය විසින් සොයා ගන්නා ලදි. අත් අඩංගුවට ගත් සීඩී තැටි වල දරුවන්ට පාසල් නිල ඇඳුම් අන්දවා අසභ්‍ය ආකාරයට රූපගත කල දර්ශන මෙන්ම ළමුන් ගේ පූර්ණ නිරුවත් දර්ශනද තිබී ඇත. මූලික පරීක්‍ෂණ වලදී හෙළිවී ඇත්තේ නිරන්ත එදිරිසිංහ විසින් මෙම ළමා කාම වීඩියෝ ජාවාරම වසර ගණනාවක් පුරා සිදු කොට ඇති බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා ද සහාය දී ඇති බවත් ය.
මෙම ළමා අපයෝජන පිළිබඳ සිද්ධියේදී නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී විය සැකකරුවන් විසින් බලගතු දේශපාලකයන් හරහා පරීක්‍ෂණ වලට බාධා පමුණුවා ප්‍රබල සාක්‍ෂි යටපත් කරන ලද අතර මෙම ළමා අපයෝජන සිද්ධිය පිලිබඳව පරීක්‍ෂණ කරමින් සිටි කොල්ලුපිටිය පොලිසියේ ළමා හා කාන්තා අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක වරුණි බෝගහවත්තව මාරු කර දමා විමර්ශණය අඩපණ කරන ලදි. මේ අතර බ්‍රයන් ජෝන් සැඩික් නම් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයිති සමාගමක කොටස් රුපියල් මිලියන ගණනක වංචාවක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද දේශපාලකයෙකුද අපයෝජකයන්ට ගැලවී යාම සඳහා උපකාර කරන ලදි. තවද සැකකරුවන් විසින් පුවත්පත් වලටද බලපෑම් කොට ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවූ මහා ළමා ලිංගික අපයෝජනය පිලිබඳව තොරතුරු වාර්තා කිරීම සීමා කළහ. බොහෝ පුවත්පත් මෙම විශාල අපයෝජනය වාර්තා කලේ නැත. එසේම ශ්‍රී ලංකා බලධාරීන් ගෙන් සහයක් නොලැබුනු නිසා ඕස්ට්‍රේලියානු පොලිසියද ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු වන හේවා ජයසිංහලාගේ උපුල් කුමාර නොහොත් උපුල් හේවා සම්බන්ධ වූ අපයෝජන පරීක්‍ෂණ හමුවේ අකර්මන්‍ය විය. මේ නිසා අපයෝජකයෝ ඉදිරි කාලයේදී නිදහස් වීමට නියමිතය.
ලිංගික අපරාධවලින් ළමයින් ආරක්‍ෂා කිරීම ඉතා වැදගත් වේ.එහෙත් ඇතැම් දූෂිත නිලධාරීන් නිසා ළමා අපයෝජකයන් නීතියෙන් බේරී ගිය උදාහරණ බොහෝ තිබේ. ළමා අපයෝජන විමර්ශකයන්ට මෙන්ම විනිසුරුවන්ට බලපෑම් කරමින් අධිකරණ ක්‍රියාවලියට දේශපාලන මැදිහත්වීම ශ්‍රී ලංකාවේ සුලභ ය. මේ නිසා අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳී යයි. නිරන්ත එදිරිසිංහ – දොස්තර උපුල් හේවා ළමා අපයෝජන පිළිබඳ සිද්ධියේදී පෙනී යන්නේ දූෂිත නිලධාරීන් විසින් අපයෝජකයන්ට ගැලවී යාම සඳහා දොරටු විවෘත කොට තිබෙන බවයි. එම නිසා ගල්කිස්සේ පහලොස් වියැති බාලවයස්කාර දැරිය දූෂණය කළ සල්ලාලයන් ද ඉදිරි කාලයේ නීතියෙන් බේරී පළා ගියහොත් පුදුම නොවන්න.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි