අද බක් පුර පසළොස්වක පෝය... හවසට පායන හඳ වෙනදට වඩා පැහැදිළි වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා … ඒ වෙන දෙයක් නිසා නෙවෙයි .. මිනිස්සු සේරම නිද්‍රාගත කරලා ස්වභාවධර්මය අවදියෙන් නිසා…හඳයි ඇසයි අතර අවකාශය දුර්වර්ණ කරපු මිනිස් ක්‍රියාකාරකම් ඇණහිටලා නිසා..
අදහාගන්න බැරි තරම විශ්මයජනක විදිහට ස්වභාවධර්මය ආක්‍රමණය කළ මිනිසා මේ වගේ පිළිතුරක් බලාපොරොත්තු වෙන්නත් නැතුව ඇති .
ඒත් අද මුළු මහත් මනුෂ්‍ය වර්ගයාම නිරුත්තරයි.ඒ විතරක් නෙවෙයි උනුන්ට ළංව සිටීම පවා වරදක් වෙන තරමට ඒ ස්වභාවධර්මය දීපු දඬුවම බරපතල වෙලා..
ඒත් තාමත් මිනිස්සු ඒ නීතියට අවනත නෑ වගේ.. ඇඳිරිනීතිය ඇතුලේ කාගේ හරි පුළුවන්කාරකමකින් එළියට යන්න මිසක ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන ආරක්ෂා වෙන්නේ කීයෙන් කී දෙනාද ?
ඇඳිරි නීතිය ඉවත් වුණ ගමන් ඉවක් බවක් නැතුව ඒ මේ අත දුවන්නේ තමන් වටේ තියෙන ව්‍යසනයේ බරපතල කම නොදැනෙන නිසාමද.? නැත්නම් දරුවො බඩගින්නේ ඉන්න එක මරණයට වඩා දරන්න බැරි දෙයක් නිසාද.?
“සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” සියළු සත්ත්වයෝ ආහාරය මත පැවතෙන්නෝ වෙති… ඒ නිසා ඇඳිරිනීතිය ඉවර වෙද්දි කෑම ටිකක් එකතු කර ගන්න දිවි නොතකා පෙළ ගැහෙන එක හරිම මානුෂිකයි.. ඒත් එතන විනයක් තබාගන්න බැරිකම… ඒක මහා අවාසනාවක් ..
හෙට දවසේ මනුෂ්‍ය වර්ගයාගේම පැවැත්ම තීරණය කරනව නම් ඒ විනය වෙනුවෙනුත් වගකීමක් උගත් නූගත් ලොකු පොඩි බාල මහළු හැමෝටම තියෙනවා ..
අපි එහෙම ම්ලේච්ඡ ජාතියක්ම නෙවෙයි ..ඒත් අද කණගාටුවෙන් හරි පිළිගන්න ම වෙනවා අපි නොහික්මුණු පිරිසක් කියලා ..
එහෙම වුණේ ඇයි … ශතවර්ෂ ගණනාවක් බලපාපු හේතු දහස් ගානක් ඇති..ඒත් ළඟම තියෙන හේතුව ..?
පෝළිමක මිනිස්සු මීටරයක් දුරින් ඉන්න බය ඇයි ..
ඒ ඉඩට කවුරු හරි රිංගන නිසා…
එහෙම කරන්නේ ඇයි …
ආත්මාර්ථය නිසා ..
ආත්මාර්ථකාමී වෙන්නෙ ඇයි . ..
පරාර්ථකාමී වීමේ සතුට හුරු නැති නිසා…
එහෙම වෙන්නේ උපතින්මද…නෑ.. ඉගෙනගෙන නැති නිසා…
මම මට අදාල සිදුවීම් දෙකක් කියන්නම්..
මගේ චූටි දුවට කාලයක් හැමදාම ගම් බෝතලයක් දවසට යවන්න වුණා.. ඒකට මොකද වෙන්නෙ ඇහුවම ..දරුවා කිව්වේ අනිත් ළමයි එයාලගෙ ගම් බෝතලේ හංගගෙන දරුවගේ එක ඉවර වෙනකල් ගානවා කියලා.. තවත් දවසක දරුවගේ සටහන් වල අඩුවක් තිබුණා .. ඒ ඇයි කියලා අහද්දි දරුවා හරිම කණගාටුවෙන් කිව්වා “අම්මේ යාළුවට වැඩිය පේළි දෙකක් මං වැඩිපුර ලිව්වා කියලා එයා මගේ පොතේ වැඩි ටික මකලා දැම්ම ” කියලා..
පුංචි දරුවෙක් එච්චර ආත්මාර්ථකාමී කරන්න වැඩිහිටි අපිටම මිසක වෙන කාටවත්ම පුළුවන් ද … බෑ අපිටමයි ඒ වරද බාරගන්න වෙන්නේ..
ඉතින් වැඩිහිටියෝ ඇයි එහෙම කරන්නේ ..
කොහොම හරි තමන්ට බැරිවුණ හීන දරුවන් ලවා හැබෑ කරගන්න.. ඒකට දරුවගෙ ජීවිතේ ම තරඟෙක හිර කරලා
ගුණ නුවණ නැති ආදරය නාඳුනන යුතුකම් වගකීම් නොදන්න යාන්‍ත්‍රික ජීවියෝ බිහි කරලා..
ඒ අය වැඩිහිටියෝ වුණා ම මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද.. වෙනස් වෙන්න ඕන ආත්ම වංචාවෙන් විභාග සමත් වෙන අධ්‍යාපන ක්‍රමවේදය. කාගෙවත් චින්තාවන් මත පරාධීන නොවුණ .. දරුවන් බිහි කරන, හිතන්න දරුවන්ට විවේකයක් සලසන පරිසරයක් ගොඩනගන එක…
ඒක කොච්චර අමාරු වෙයිද..?
හිතාගන්නවත් බෑ…
අන්තිමට පුංචි කතාවක් කියන්නම්… බුදු රජාණන්වහන්සේ වැඩ සිටිය කාලයේ එක ස්වාමීන්වහන්සේ නමක් තමන්ට මේ තරම් සිල් පද ආරක්ෂා කරන්න බෑ කියලා උපැවිදි වෙන්න අවසර ඉල්ලුවා..
ඉතින් බුදු රජාණන්වහන්සේ ඇහුවා ඔබට එක් දෙයක් ආරක්ෂා කළ හැකිද කියලා.. ඉතින් ඒ ස්වාමීන්වහන්සේ බොහොම සතුටින් එකඟ වුණා… තම සිත පමණක් රකින්න… එපමණයි..
අපිටත් මේ සත් සමාජය බිහි කරන්න නම් කරන්න තියෙන එකම දේ තමන්ගේ කුඩා දරුවා සකස් කරන එක… මුලදි පරාජයන් අත් විඳින්න වේවී..
ඒත් අන්තිමේදී කොරොනා ට වඩා භයානක දේවල් වුණත් පරාජය කරන්න පුළුවන් සමාජයක් බිහි වේවි………!!
ලියන්නේ…….
හිමාලි වීරක්කොඩි
වෛද්‍ය නිලධාරි,
කරාපිටිය ,ශික්ෂණ රෝහල.
වෛද්‍ය නිලධාරි,
කරාපිටිය ,ශික්ෂණ රෝහල.