පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට අවුරුදු හතරකට පමණ පෙර විවාහ වූ දින වීරකැටිය නිවසේදී පැවැති මංඟල උත්සවය සඳහා තාවකාලික විදුලි සම්බන්ධතාවයක් සපයා ආරක්ෂක පහන් සවි කර විදුලිය සපයාදීම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු රුපියල් ලක්ෂ විසි හයකට අධික මුදලක් මේ වන විටත් ගෙවා නැති බවට හෙළිදරව් වී තිබේ.
නාමල් රාජපක්ෂගේ විවාහ මංඟල්‍යය උත්සවය පැවැති කාල වකවානුවේදී විදුලි බල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවි කරුණානායක විදුලි බල මණ්ඩලයට ලිඛිතව උපදෙස් දී ඇත්තේ ජනපති මහින්ද රාජපක්ෂගේ වීරකැටියේ නිවසේ පැවැත්වෙන මංඟල උත්සවයට විදුලිය සැපයීම සඳහා විදුලි ජනන යන්ත්‍රයක් හා ට්‍රාන්ස්ෆෝමරයක් සවි කරන ලෙසය.එමෙන්ම ඒ සදහා වන ගෙවීම් කටයුතු රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් ගෙවීම කරනු ඇති බවද එම ලිපියේ සඳහන් කර තිබේ.
කෙසේවෙතත් මේ වන විටත් විදුලි බල මණ්ඩලයට ගෙවිය යුතු මුදල් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා හෝ රාජපක්ෂ පවුලේ කිසිවෙකුත් ගෙවා නැති බව අනාවරණය වී ඇත්තේ 2016 අංක 12 දරණ තොරතුරු පනත යටතේ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ විසින් විදුලි බල මණ්ඩලයෙන් ඒ සම්බන්ධයෙන් 2023 අගෝස්තු 02 වන දින ලබා ගෙන ඇති ලිඛිත තොරතුරු අනුවය.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2019.09.12 දින සිට 2019.09.15 දින දක්වා වීරකැටිය නිවසේ පැවති උත්සවයකට සහභාගි වන බව දන්වා ආරක්ෂක පහන් සවි කරන මෙන් ඉල්ලා ඇත.ඒ අනුව තාවකාලික විදුලිය සපයා ආරක්ෂක පහන් සවිකර නැවත එම උපකරණ ගලවා ඉවත් කර ඇති අතර ආරක්ෂක පහන් සවි කිරීම සහ ජනක යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රු.26,82,246.57 ක වියදමක් දැරීමට සිදුව ඇති බවත් එම වියදම් ඇස්තමේන්තු මුදල ගෙවීම් කරන ලෙස දන්වා ඇතත් මෙතෙක් එම මුදල ගෙවා නැති කාරුණිකව දන්වමි යනුවෙන් විදුලි බල මණ්ඩලය නලින් හේවගේ වෙත ලබා දී ඇති තොරතුරු වල දැක්වෙි.
මෙම තොරතුරු සමාජ මාධ්‍යවලින් අනාවරණය වීමත් සමගම තංගල්ල කාල්ටන් නිවසේ ලිපිනය සහිතව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස හඳුන්වාාගත් සංජීව විජේරත්න නම් තැනැත්තකු විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර සඳහන් කර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ ලිපි ශීර්ෂය භාවිතා කරමින් විවේචනාත්මක හා අපහාසාත්මක තොරතුරු ඇතුළත් කර සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපියට අදාලව එම බිල් පත් වල නිවැරිදි තොරතුරු නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ලබා දෙන ලෙසය.
එම ලිපිය තුලින් තවත් විෂමාචාරයක් අනාවරණය වීම විශේෂයකි.මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්ය මණ්ඩලයට සම්බන්ධීකරණ ලේකම් වරයකු ඇතුළත් නොවන අතර එම කාර්ය මණ්ඩලයට අයත් වන්නේ පෞද්ගලික ලේකම් වරයකු ලිපිකරුවකු කාර්යාල කාර්ය සහායකයකු හා ව්‍යාපෘති නිළධාරියකු පමණය.එහෙත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිල ලිපි ශීර්ෂය භාවිතා කරමින් හා ව්‍යාජ තනතුරක් ආරෝපනය කරගනිමින් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හට අයුතු බලපෑමක් කිරීමට සංජීව විජේරත්න නම් පුද්ගලයා කටයුතු කර ඇති බව එම ලිපිය මගින් වැඩිදුරටත් තහවුරු වේ
නාමල් ගේ වෙඩිම දවසේ ලබා ගත් විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලයට පොල්ල තියලා