උණුසුම් පුවත්

වෙරි සොරි මිල්ටෙරි නන්දසේන , එන්න සෙයියරදු අප්පා

Spread the love

ඇස් ගිණි කනා වැටෙන ආකාරයට තැන තැන මැයි රැළි පැවැත්විනි.ඒවා හරියට අප කුඩා කාලයේ කං කං බූරු සෙල්ලම කරන විට කියන දේ අහන අයගේ සහභාගිත්වය තියෙන හැඩයේ ඒවාය.

කං කං බූරු එකෙක් කියයි

සිං සිං සිඤ්ඤෝරු පිළිතුරු දෙයි

මං කියන දේ අහනවද නායකයා අසයි

ඔව් යැයි පිරිස එකඟ වෙති

සෙල්ලම ඉවරවී සියල්ලෝ සතුටින් විසිර යති.

මැයි පළමුවෙනිදා පැවැත්වූ මැයි රැළි ගැන අපට කියන්නට ඇත්තේ එපමණය.එහෙත් ඒ අස්සේ පැවැත්වූ අමුතුම ජාතියේ රැළියක් ගැන අපට දකින්නට අසන්නට ලැබුණි.ඒ රැළිය

දුන්න දුනු ගමුවේ
ඊතල කිතල ගමුවේ
රාළ මීගමුවේ
මුවෙක් ඇඬුවා සබරගමුවේ

කවිය සිහියට එන රැළියකි.එය රැළියක් කීවාට අතනින් මෙතනින් අහුලා ගත් සිල්ලර කෑලි දෙතුන් දෙනෙකු සිටි කයිවාරු සභාවක් කීවානම් හොඳය.සභාවේ න්‍යාය පත්‍රයට අනුව අපට තේරුම් ගියේ එය මිල්ටෙරි නන්දසේන ගේ මුට්ටිය දැමීමේ වැඩක් බවය.

මිල්ටෙරි නන්දසේන සභාව නියෝජනය කෙරුවේ නැත.එහි සිටියේ ඔහුගේ සෙක්‍රතාරිස් අතවැසියාය.සුගීස්වර බණ්ඩාරය.ගම්මන්පිලගේ හිටපු සෙක්‍රතාරිස් හෙවනැල්ලය.සභාව ඇමතූ සුගීශ්වර බණ්ඩාරයන් තොරණේ විස්තරේ කිව්වේ පපු කැනති පත්තු වී ඇහෙන් කඳුළු කඩා හැලෙන විදියටය.සුගීෂ්වර කට උල් කරමින් එහිදී ප්‍රකාශ කෙරුවේ “..එදා ජනතාව ජනපති මන්දිරය වැටලූ දින මිල්ටෙරි නන්දසේන දයා බරිතව මහා කරුණා සමාපත්තියට වැද චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගනිමින් මිල්ටෙරි ලොක්කන් අමතා මාගේ හැටනව ලක්ෂක් වූ අසරණ ජනතාවට එරෙහිව එක වෙඩිල්ලක් පත්තු කරන්න එපා කියා..” කී බවය.

හිනාවෙනවාද අඬනවාද ?……………

සුගීෂ්වර බණ්ඩාරයන්ගේ මේ විස්තරේ අසා අපට හිතා ගන්නට බැරිවුනේ අප හිනාවෙනවාද අඬනවාද කියා විතරය.ඉන්පස්සේ අපට මතක් වුනේපොද්දල ජයන්ත ගේ හිසකෙයා කපා කටේ ඔබා කකුල් අත පය කැඩූ හැටිය. හූ ඉස් ලසන්ත හරක් මරණ ආයුධයකින් ඔළුවට යකඩ කූරක් බස්සා වල පල්ලට යැවූ හැටිය.බීමට වතුර ඉල්ලා පාරට බැස්ස වැලිවේරිය කිරි සප්පයාට පවා වෙඩි තිබ්බ හැටිය.ප්‍රගීත් එක්නැලිගොඩ ගේ ඇට කටු සූප්පු කර ඔහු අතුරුදන් කළ හැටිය.සිවරාම් ශිව දෙවියන් ගේ තුරුළට යැවූ හැටිය.කොළඹ නගරයේ හිඟා කෑ කාත් කවුරුවත් නැති අසරණයන් අට දෙනෙකුගේ හිස මතට කලුගල් පත අතෑර හිස චප්ප කර මරා දැමූ හැටිය.

මාතලේ කොල්ලන් කෙල්ලන් දාහක් හමාරක් දස වද දී මරා දැමූ හැටිය. ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියකු ලෙස ඡන්දය ඉල්ලූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට ජම්පරය ඇන්දූ හැටිය.ඒ ඡන්දයේදී ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට සහයෝගය දැක්වූවේ යැයි හමුදාවේ ඡ්‍යෙෂ්ඨයන් තිස් පස් දෙනෙකු ගේ යුනිෆෝම් ගලවා ගෙදර යැවූ හැටිය.ඒ හිතේ අමාරුවට කමාන්ඩෝ රෙජිමෙන්තුවේ විශිෂ්ඨ රණවිරුවකු වූ මේජර් ජනරාල් සූරියබණ්ඩාර පපුවේ අමාරුව හැදී මිය ගිය බවය.රට බේරා ගැනීමට අහිංසක කොල්ලන් පෝලිමට මැරී වැටෙද්දීී කසි කබල් මිග් යානා ගෙන්වා අත යට ගානක් කපා ගෙන කැලිෆෝනියාවේ බංගලාවක් මිලයට ගත් හැටිය.හබරණ කැලයේ නිදැල්ලේ හැසිරුණ තුන් පත් රැළෙහි හස්තිරාජයන් හා මව් ඇතින්නන් යාල් දේවි දුම්රියට යට කර දැමීමට එළවා දමා කුඩා ඇත් පැටවුන් පැහැර ගත් අමානුෂික සතුන් මංකොල්ලය ගැනය.

බලය ගැනීම සඳහා පාස්කු දින ආගමික සිද්ධස්ථාන වල වන්දනා මාන කරමින් සිටි අහිංසකයන් තොග ගනනේ මරා දැමූ හැටිය.

තෙල් පෝලිම් වල මිනිසුන් මැරී වැටෙද්දී
ඇහැක් ඇර නොබැලූ හැටිය.ගෑස් පුපුරා මිනිසුන් මැරෙද්දී නෑසූ කන්ව සිටි හැටිය.හමුදාවෙි ගොබ්බ ජනරාල්ලා
හැම බඩ කඩත්තුවකටම යොදා ගනිමින් මිනිසුන් බය වද්දන්ට හැදූ හැටිය.නීතිය මම බව පවසමින් ⁣මෝඩ අඥාන තකතිරුවකු ලෙස හැසිරුණ ආකාරය ගැනය. කෝවිඩ් රෝගය රට පුරා පැතිරයාම ආරම්භයේදී එය වලක්වා ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර පිස්සු ඇටෙන්ඩන් ඥානා ගේ උපදෙස් වලට කටයුතු කළ අන්දමය.මනුස්සකමට නිගා ⁣දෙන මෙලේච්යකු ගැන ලියන්නට තව ඕනෑ තරම් දේවල් තිබේ.ඒ තරමට මේ ලැයිස්තුව දිගට ලියන්න පුළුවන. ගමේ බාසාවෙන් කියනවා නම් මේවා වැහි නැති හෙණ පාත්විය යුතු අමානුෂික කෙරුවාවල්ය.

අපට හිනාවෙන්නැදැයි අඬන්නදැයි කියා සිතා ගන්නට බැරි වුනේ මේ තිරශ්චීන මිනීමරු කෙරුවාවල් එක පෙලට මතක් වුන නිසාය.ඒත් අපට එකක් තේරුම් ගන්නට පුළුවන් විය.ඒ මිල්ටෙරි නන්දසේන තවමත් දේශපාලනය අත් හරින්නට සූදානම් නැති එක ගැනය.

අපට එහිදී මතක් වූයේ අන්දරේ සිරික්කා නම් කෙල්ලක ළිඳේ වැටුන විට කී කවියකි.

ගසක් කොළක් නම් කප්පා ගොඩ අදිමී
ලෙඩක් දුකක් නම් හත් දා බලා අරිමී
යමෙක් කළා නම් පන්සිය පලි ගහමී
සිරික්කා ළිඳේ වැටුනට මක් කරමී

අන්දරේ මේ කවිය කීවේ සිරික්කාටය.
ඒත් අප මේ කවිය කියවිය යුතු වන්නේ අන්තිම පේලිය වෙනස් කරමිනි.ඒ “නන්දසේන ළිඳේ වැටුනට මක් කරමී” යනුවෙන්ය.

රාජපක්ෂ හාමුලාගේ බිං කුඩ්ඩෝ……….

මිල්⁣ටෙරි නන්දසේන හෝද හෝදා ඩ්‍රයික්ලීන් කරන්නට සුගීෂ්වර බණ්ඩාර රැස්වීම් දාහක් හමාරක් කෙරුවත් බැරි බව කියන්නට ඕනෑය.දැන් මේ රටේ ජනතාව තම්බන්නට මිල්ටෙරි නන්දසේන ගාව තිබෙන ලුණු ගොරකා මදිය.අනෙක් රාජපක්ෂ හාමුලාටද ඒ කතාව වලංගුය.රාජපක්ෂ හාමුලාගේ බිං කුඩ්ඩෝ බොල බිං කුඩ්ඩෝ තෝත් නටාපිය මාත් නටන්නං දේශපාලනය දැන් මේ රටට අරහංය.

මිනිසුන් වැඩි දෙනකු දැන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ රට විනාශ කළ තක්කඩියන්ට ජම්පරය අන්දන්නේ කවරදාද කියාය.

ජනපති රනිල් රාජපක්ෂ මොන දහම් ගැටය ගැසුවත් කලට වේලාවට තිතට නැකතට වැඩේ දෙන්නට දැන් රටේ ජනතාව සූදානමින් සිටී.රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කන්ට අපට කියන්නට ඇත්තේ හැමදාම නත්තල් නෑ කියාය.

 


Spread the love

Leave a Comment

You may also like