තාත්තා හරි හම්බකරපු දෙයින් තුන්කාලක්ම බීමට සහ නොයෙකුත් නොසන්ඩාලකම්වලට නාස්ති කළේය. අවසානයේ දූ දරුවන්ට එක වේලක් කන්න දෙන්නවත් අතේ පිච්චියක් ඉතිරි නොවීය. දරුවන් සාගින්දරේ
හඩා වැළපෙද්දී උන්ගේ කුසගිණි නිවන්නට තාත්තා අහළින් පහළින් පොළියට ගත්තේය. ඒවායිනුත් තුන්කාලකට වඩා තාත්තා තම සුඛවිහරණය සදහා නැතිනාස්ති කළේය. පොළී පිට පොළී එකතු වී ගෙවාගන්නට බැරිවූ විට තාත්තා පොලී මුදලාලිලාව මුණගැසී හඩා වැළපෙමින් තම දුක කී විට පොලී මුදලාලිලා විසඳුමක් යෝජනා කළෝය.
“අපි උඹට තව ණය දෙන්නම් හැබැයි උඹ උඹේ ගෑණිව හැමදාම රෑට අපිට දෙන්න ඕනෙ.”
මේ අම්මා මගේ මාතෘභූමියයි. එනිසා මගේ නාස්තිකාර තාත්තාගේ කන් අඩි පුපුරා යන හඩින් මම මෙසේ කෑ ගසා කියමි
” මාගේ මාතෘභූමිය ගණිකාවක් නොකරනු!”.
ඔබත් මේ අම්මාගේ දුවක හෝ පුතකු නම් එසේ කියන්නට ඔබටද පැහැර හැරිය නොහැකි අයිතියක් සහ වගකීමක් ඇතැයි මම විශ්වාස කරමි.
සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා.