අල්ලස් සහ රාජපක්ෂලා කියන්නේ දෙකක් නෙමේ එකක්ය.
චීනාට අල්ලස් දීලා ගූ පෝර, වැක්සීන ගෙනෙයි.
සංඝයාට අල්ලස් දීලා පද්ම විභූෂණ පට්ටම් ගනී.
විශ්ව විද්‍යාලකාරයන්ට අල්ලස් දීලා ලමයිව විභාග පාස් කර ගනී. ආචාර්ය මහාචාර්ය කම් ගනී.
අල්ලලා හිරේදාන නිසා නඩුකාරයන් හා නඩු ගැන මුකුත් නොකියමි.
මහජනයාට අල්ලස් දී චන්දේ බා ගනී.
අලුත්ම එක 5000 හේ කේස් එකයි.
රටට ඕන බෙහෙත් ටික, ගෑස් ටික, පෝර ටික ගේන්න ඩොලර් නැත.
ඒවුනාට රුපියල් ඇත.
හෝ ගාලා අච්චු ගහලා, අච්චු ගහලා නත්තල් පප්පා වගේ බෙදා දෙන්න සුදානම්ය.
ලක්ෂ 15 ක් රජයේ සේවකයෝ
ලක්ෂ 17 ක් සමෘද්ධිලාභීන්
ලක්ෂ 6 ක් පැන්ෂන්කරුවන්
ආබාධිත සෙබලුන්
තමන්ට කියලා පර්චස් එකක් හරි බිම කෑල්ලක් තියෙන අය.
මේ විදියට පවුල් ලක්ෂ 50 කට සල්ලි බෙදන්න යයි.
හැබැයි දුක් මහන්සියෙන් හම්බ කරලා නෙමේය .
අච්චු ගහලය.
2020 මහ මැතිවරණයේදී නම් වැඩේ ටක්කෙටම හරි ගියාය.
මිනිස්සු සල්ලිත් අරන් පොහොට්ටුවට කතිරේ ගැහුවාය .
ඒක හරිය. සල්ලි නොදුන්නත් ඒ සැරේ මිනිස්සු කතිරේ ගහන්නේ පොහොට්ටුවටය .
ගෝටා ජනාධිපතිවරණය දිනලා තියෙද්දී පොහෙට්ටුවට ඇර වෙන පක්ෂයකට චන්දෙ දෙන්න තරම් මිනිසුන්ට මොලේ අමාරුවක් නැතිය.
තමන්ටයි රටටයි වැඩක් කර ගන්න ඕනේනම් හේත්තු වෙන්න තිබුන හොදම Option එක ඒ වෙලාවෙදි පොහොට්ටුවය .
ආන්තික ටොයියොයි ජෙප්පොයි මොක කිව්වත් මිනිස්සු හිතන විදියක් තිබෙයි.
රටාවක් තිබෙයි.
ඒක අල්ල ගන්නේ නැතුව පඬි ටෝක් විතරක් දීමෙන් චන්දෙ දිනන එක බොරුය.
අනික ඔරැකල්, ඩේටා බේස් අරන් ආව නවීන මිනිසා ගෝටාභයය.
ආවෙත් ඇමරිකාවේ කැලිෆෝනියා සිටය.
අනිත් ගං කබරයන් දෙනවා කිව්වෙ, කරනවා කිව්වේ අවුරුදු 73 ක් හිටපු පරන කබරයෝ කිව්ව දේවල්මය. කරපු දේවල්මය .
මේ 5000 හේ කේස් එක නිසා ටොයියොයි ජෙප්පොයි ටිකක් කලබල වෙලාය.
ඒ මහජනයා 5000 ට රැවටිලා ඊලග පාරත් රාජපක්‍ෂලාටම දීලා අරියි කියලාය.
වැඩියෙන්ම බය වෙලා ඉන්නේ ජෙප්පොය.
තමන්ගේම කියලා ආන්ඩුවක් පිහිටුවාගන්න ඔන්න මෙන්න කියලා හිටපු අපිට, බැසිලා සබන් නොගාම ඇරියා නේද කියලා කට්ටිය විස්සෝපයෙන්ය.
“අපිට කර ගන්න බෑ අනී , ඔයාලා IMF නෙමෙයි ඕන තුත්තුකුඩියක ගිහිල්ලා ප්‍රතිසංස්කරණ නෙමෙයි මොන මඟුල හරි කරලා මේක ගොඩදාලා පස්සෙ අපිටම දෙන්න ප්ලීස් ” කියලා රාජපක්ෂලා ආන්ඩුව බන්දේසියක තියලා තමන්ට බාරදෙයි කියලා හිතන් ඉන්න ටොයියොත් ටිකක් දැන් ගැස්සිලාය .
“ඔය 69 ලස්සේ එකලා බයියෝ බයියොමය, ඕකුන්ව නම් හදන්න බැරිය, ගෑස් පෝලිමේ හූ කිව්ව එකාලම තමයි 5000 අරන් රට හෝදලා සුප් හදලා හොදි බිව්වත් රාජපක්ෂලාටම චන්දෙ ගහන්නේ” කියලා එකම අඬෝවැඩියාවය.
ලස්සන රටක්, ගමෙන් පටන් ගමු, රට හදන විසඳුම, ගොවි උද්ඝෝෂණ, ගුරු උද්ඝෝෂණ ඔක්කොම වතුරේය.
ගුරාලාට පඩි වැඩි කරන්න සල්ලි නොතිබ්බ ආන්ඩුවට එක සැරේ කප්රුක පහල වෙලාය.
මේ ගහන්න යන්නෙ වෙන ගේමක්ය.
මෙයාලා ට්‍රයි එක දෙන්නේ ආර්ථික අර්බුදය නහයට උඩින් යන්න කලින් පාර්ලිමේන්තුවේ 2/3 න් අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නය. මේ අල්ලස දෙන්නෙ ඒකට විරුද්ධව අරගල කරන්න විපක්ෂයට පොදු ජනයා එකතු වෙන වලක්වන්නය .
ජනමත විචාරණ කොහොමත්ම ඕන වෙන්නෙ නැතිය.
මොකද ඒක අධිකරණයේ මිතුරන් බලාගන්න නිසාය.
ඉන් පසුව ” ප්‍රජාතාන්ත්‍රික මිලිටරි ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක්” යටතේම “ආසියාවේ සිම්බාබ්වේ” රාජ්‍යය මේ කුඩා දිවයින තුල ස්තාපිත කෙරෙනු ඇත.
කොච්චර හොරා කෑවත් තමන්ගේ “ජාතික නායකයා” වෙන රොබට් මුගාබේව සිම්බාබ්වේකාරයන් එලවන්නේ නැතුවා වගේ මහින්දවත් මෙයාලා එලවන්නේ නැතිය.
මහින්ද මහත්තයා අමාරුවෙන් බකල ගගහා ඇවිදින කොට සිංහල මිනිහගේ (විශෙෂයන් ගැහැණුන්ගේ ) පපු කැවුතු පිච්චෙන හැටි නොතේරෙන්නේ සිංහල ජන විඥ්ඥාණය ගැන මෙලෝ හසරක අවබොධයක් නැති අපතයන්ට පමණි.
5000 දෙන්නේ පලාත් සභා වලට චන්දය ගැනීමට යන අදහස බැහැර කරමි.
5000 ට වහල්වී පලාත් සභා චන්දයේදි පොහොට්ටුවට ජනයා චන්ද දෙනු ඇතැයි කල්පනා කිරීම ජනයාට කරන අපහාසයකි.
එසේනම් 10000 කින් පඩි වැඩිකරපු, පැට්‍රල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ එකම මිලට කාලයක් තිස්සේ දුන් යහපාලන ආන්ඩුව එලවලා මිනිස්සු පොහොට්ටුව බලයට ගේන්නේ නැත.
2019 වෙනකම්ම රාජපක්ෂලාට කොච්චර “හොරා හොරා” කිව්වත්ජ නතාව ඒක එහෙමටම ගනන් ගන්නෙ නැත්තෙ ඒ නිසාය.
ඒ හොරා කන එක ජනතාවට අවුලක් නැති නිසාය . ඒක අපේ සංස්කෘතික වටිනාකමකි . දැන් අවුල පාලකයා හොරා කන එක නෙමේය , අපි බඩගින්නේ ඉන්දෙද්දි උන් විතරක් හොරා කන එකය.
අපේ අවශ්‍යතා ඉටුකරන ගමන් පාලකයා හොරාකන එක ජනතාව එතරම් තකන්නෙ නැතිය.
හොරා කන ගමන්ම හරි ජාතිය, ආගම, හෙළකම මොකා හරි රකිනවා නම් අපි අවිඥානිකවම ඌට මනාපය.
ඔබ බයියන්යයි හදුන්වන පිරිසට මේ 5000 හේ අල්ලස ආන්ඩුව සමග රැදෙන්න සුලු උත්තේජනයක් සපයනු ඇති බව සැබෑය.
හැබැයි එහෙම නොදුන්නා කියාද ජනයා සජබාවුන් හෝ ජවිපාවුන් බවට රූපාන්තරණය නොවෙත්.
හේතුව, කන්න නැතිවුනත් ඔවුන්ට බයියන් වීමට බලපෑ මතවාදය තවමත් ශක්තිමත්ව පැවතීමයි. එනම් සිංහල බෞද්ධ ස්වොත්මාවාදයයි. එය ඔවුන්ට ජාතිය පිලිබඳ ප්‍රශ්නයක් නොවෙයි. එය ඔවුන්ගේ තමන්ගේ ආත්ම ගරුත්වය පිළිබඳ ප්‍රශ්නයකි. ඒ නිසාය ප්‍රතිවාදියාට සාපෙක්ෂව ඒ මතය කර තියාගෙන යාහැකි කෙනෙක් ඔවුන් නිතරම කර තියන් යන්නේ.
සර් ජෝන්ට සාපේක්ෂ බණ්ඩාරනායකවත්
ජේ ආර් ට සාපේක්ෂව සිරිමාවෝත්
රනිල්ට සාපෙක්ෂව චන්ද්‍රිකාත්
චන්ද්‍රිකාට සාපෙක්ෂව මහින්දවත්
සජිත්ට සාපෙක්ෂව ගෝටාභයවත් කර ගහගෙන යන්නේ.
2024 දි වුවත් ඒ කඳවුර බැරිවෙලාවත් තාවකාලික පරාජයක් ලැබුවත් ඒ ලබන්නේ එම මාතවාදය නියොජනය කිරීමට නාමල්ට සහ බැසිල්ට ඇති නොහැකියාව නිසත් පවුල්වාදයෙන් අන්ධවී සිටින රාජපක්ෂලා එහෙම චරිතයකට ගොඩනැගිමට ඉඩ නොදුන් නිසාත්ය.
එසේ නොවුනානම් නැවතත් රට ගොඩගන්නා දියසෙන් කුමාරයා බිහිවීමේ සරුපස තියෙන්නෙ එම කඳවුර තුලමය.
සජබය තම පක්ෂයටම කියා ෆිලෝසපියක් නොහොත් මතවාදයක් නිර්මාණය කර ජනතාව පුද්ගලයකු වටා නොව මතවාදයක් වටා ගොනු නොකරන තාක් අරටු බැහැපු පරණ යුඇන්පී ලක්ෂ 25-27 ත් අතර පිරිස හැරුණු විට අලුතින් පිරිස් ඊට එකතු නොවේ.
ජවිපෙහි තත්ත්වයද ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තෝ නසී ” තත්ත්වය කරා ගමන් කරමින් සිටියි. ගියවර රතු පාටින් රෝස පාටට Crossover කල නිසා පක්ෂයට නීරූපා සේරසිංහලා හරිනිලා ගෙනා චන්ද ප්‍රමානය 50000 කට වැඩි නොවෙයි. රතු පාට දියාරු කර ගත්ත නිසා අහිමි වු චන්ද ප්‍රමානය ලක්ෂ තුනක් පමන වේයි. ඒ “ඔරිජිනල්ය සමාජවාදය ” නිසා පක්ෂය සමග බැදුනු පිරිස පක්ෂය අත හැරීමෙනි. 5% ක් චන්දය තිබූ පක්ෂය 3% ට අඩුවුයේ එබැවිනි. පක්ෂය රෝස පාට නොව අලු පාට වුනත් අත නොහරින “සුළු ධනෙශ්වර-සමාජවාදින්” පිරිස පක්ෂය සමග සිටියි.
මෙය ජවිපෙ කල නිවැරදි තේරීමකි. රතු පාට සමග අවුරුදු 50 ක් තුල යා හැකිවු දුර 5% නම් රෝස පාටට හැරී හෝ ප්‍රවර්ධන Strategy යක් අත්හදා බැලීම වරදක් නොවෙයි.
දැන් දැන් මල් වට්ටි අරන් මහ නායකලා බැහැ දකින්නේ ඒ නිසාය.
හෙට අනිද්දා මල් බොකේ එකක් අරන් කාඩිනල්තුමාවද පූන නුල දාලා නල්ලූර් කෝවිල්ද යනු ඇත. තිරුපති වලින් මෙහා නවතිනු ඇත. රතු පාටේ ඉදන් ඕවා කරන්න බැරිය. පස්වෙනි ජාත්‍යන්තර හිනා වෙනවාය. රෝස පාට වුනේ ඒකටය. ඒක හරිය. වැරදි නැතිය.
දැනට එය “වැඩ කරන” බවක් ඔවුන් ප්‍රකාශ කරයි.
නමුත් පක්ෂය රෝස පාට වීමත් සමග ජවිපෙ සිය අනන්‍යතා අර්බුදයකට මුහුණ පායි.දැන් එය තමන්ටම කියා මතවාදයක් නැති පක්ෂයකි . වමද නොවේ ඒ දක්ෂිණාංශිකයන්ට පවා පක්ෂය විවෘත නිසාය. වම නොවේද නොවේ. ඒ වම්මුන්ටත් පක්ෂය විවෘත නිසාය. පක්ෂයේ සමහරු ලිබරල්වාදීන්ය. සමහරු සුථ ධනෙශ්වරවාදීන්ය. සමහරු වෙළඳපොළවාදීන්ය. එකම පොදු ගුණාකාරය ” පාලකයා දුෂිත හා හොරු වීමට ඇති අකමැත්තය”
නමුත් මේ පොදු ගුණාකාරය Fragile ය. ඉක්මනින් බිදෙන සුලුය. පවත්වා ගැනීම අපහසුය. නිර්මල චන්ද්‍රිකා බලය ලබා ටික කලෙකින් චෞර රැජින වුනේ එබැවිනි. හොරු අල්ලන්න ආපු මෛත්‍රිපාලව හොරු අල්ල ගත්තේ එබැවිනි. බලේට එන්න කලින් එයාලත් හොරු නෙමේය.
“බලය දුෂණය කරයි”
” බලය නැති එකා බලයට එනතුරා විවේචනය කරයි “
– නිලංග සමරසිංහ
හොරා වුනා නැතා බලයේ රැදීමට අත්‍යවශ්‍ය කාරණය මතවාදයක රැකවරණයයි . ඒක ජාතිවායක්, ආගම්වාදයක්, ආර්ථිකවාදයක් විය හැකිය.
රුපියල් 5000 ක් දුන්නම යන්න හිටපු එකාත් පක්ෂය එක්ක රැදෙන්නේ ඒ නිසාය.
රුපියල් 10000 ක් දුන්නත් රාජ්‍ය සේවකයා රදවාගන්න යහපාලනිස්ට්ලාට බැරි වුනේ ඒ නිසාය.
එසේ වුවද මතවාදයක් තිබ්බා කියා මැතිවරණ ජයග්‍රහණ එම පක්ෂය වෙත ලඟා නොවෙයි. දක්ෂ නායකයන්, ශක්තිමත් සංවිධාන දැලකින් බැඳුණු සමාජිකයන්ද තමන් දරන මතවාදය පැලවෙන පරිසරයක් හෙවත් Context එකක්ද අවශ්‍ය වෙයි.
එක එක පක්ෂ හා දේශපාලකයින් නැණ පමනින් මේ වාස්තවික දේශපාලනය තේරුම් අරන් ක්‍රියාත්මක වෙති.
එබැවින් පහත යෝජනා කීපය බල අරගලයේ යෙදෙන පක්ෂ හා දේශපාලකයන් වෙත ඉදිරිපත් කරමු.
1. නිශ්චිත මතවාදයක් නැති පක්ෂයකට පැවැත්මක් නැත.
බලය අත් පත් කර ගැනීම සදහා සන්ධාන ගතවීම හුදෙක්ම බලය එන්ජෝයි කිරීම සදහා පමනක්ම නොව සිය මතවාදය තව දුරටත් දරමින් ප්‍රතිපත්ති පාවා නොදෙමින් රාජ්‍ය බලය අභ්‍යාස කල හැකි නම් පමනක් කලයුතුය .
නැතිනම් සමසමාජ කොමියුනිස්ට් ආදී ශ්‍රේෂ්ඨ පක්ෂ වලට අත්වු ඉරණම අත්වෙනු ඇත.
2. විධායක ජනාධිපතික්‍රමය සැම විටම රුකුල් දෙන්නේ ද්විපක්ෂ ක්‍රමයක් දේශපාලනය තුළ පවත්වා ගැනීමටයි .
මෙය වෙනස් මතවාදයන් දරන්නන් බහුපක්ෂ ක්‍රමයකට සංවිධානය වීම අඩාල කරයි. අධෛර්යමත් කරයි. කුඩා පක්ෂයන්ට සිය මතවාද සහ ප්‍රතිපත්ති ඉවතලා ප්‍රධාන පක්ෂ දෙකින් එකකට මුක්කු ගැසීමට බලකරයි. වවුලගේ මඟුල් ගෙයක් කරයි.
එමගින් එම කුඩා පක්ෂ හා හෝ පුද්ගලයන්ගේ දේශපාලන අනාගතය සංකීර්ණ කරයි. අද මේ ක්‍රමයේ ගොදුරු බවට පත්ව සිටින හෙළ උරුමයේ චම්පික සහ නිදහස් බහුජන පෙරමුණේ විමල්, 1994 සිට ප්‍රමුබ බලවේගයක් වීමට අපරිමිත උත්සාහයක් දරන ජවිපෙ යත් නිදසුන් ලෙස උපුටා දැක්විය හැක.
අගමැති ප්‍රමුබ පාර්ලිමේන්තු ක්‍රමයක් වී නම් වෙනස් මත දරන්නන්ගේ නියෝජනය දේශපාලන බලය අභ්‍යාස කිරීමේ ක්‍රියාවලියේදී ඉදිරියෙන් තිබී ඉතා සෞඛ්‍යමත් දේශපාලන පරිසරයක් ලංකාවට ලැබීමට ඉඩ තිබිනි.
මහජනයා වෙත ස්වභාවයෙන්ම ඇති දේශපාලන අසහනය මෙතරම් බැරෑරුම් නොවීමට ඉඩ තිබිණි.
රටක් ආර්ථික ලෙස සිඝ්‍ර දියුණුවක් ලැබීමට විධායක බලතල ඇති තනි ජනාධිපතිවරයෙක්ට පාර්ලිමේන්තු ක්‍රමයට වඩා පහසු තත්ත්වයක් ඇතිකලද වරක් NM පැවසුවාසේ පිස්සෙක් ජනපති වුවොත් හරි හෝ ජනපතිට පිස්සු හැදුනොත් ඒ රට ආර්ථිකමය වශයෙන්ද පත්වන තත්ත්වය කුමක්දැයි අපි අත්විදිනෙමු.
JR ගේ සිට මේ දක්වාම ජනතාවගේ අත්දැකීම එයයි.
අනාගතයේදීද එය එසේ නොවනු ඇතැයි කීමට සාක්ෂි නැත.
3. කෙසේ නමුත් මේ මොහොත වන විට රටේ සියලු අර්බුද යට කරමින් ආර්ථික අර්බුදය පලමු තැනට පැමිණ ඇති හෙයින් විසෙන් විස නසනවාසේ මෙයට කඩිනම් විසදුමක් දීමට මේ මොහොතේ වඩාත්ම යෝග්‍ය වනුයේද Visionary Leader කෙනෙකු ජනාධිපති වීමයි. ශක්තිමත් නිවැරදි මතවාදී විධායකයට පමණි මේ අර්බුදය කලමණාකරණය කරගත හැක්කේ.
ලෝක ඉතිහාසය ඊට දෙස් දෙයි. අමරිකාවට රුසියාවට සාපෙක්ෂව චර්චිල් වින්ද දුක අපමණය.
උග්‍ර අර්බුදයන් නැති කාලයන්හීදි අගමැති ප්‍රමුබ පාර්ලිමේන්තුක්‍රමය විධායක ජනාධිපතික්‍රමයට වඩා අගනා බව ලියුම්කරු පිලිගනියි.
රට ගොඩනගන නායකයා කවුද යන විවාදයේදි
සියලු පක්ෂ නායකයන් උපනායකයන් පමනක් නොව සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පවා ඒ තමන්ය තමන් පමණක්ය තම පක්ෂය පමණක්ය යනුවෙන් සිතා සිටීනුද අපට නිරික්ෂණය කල හැක.
එය ටිකක් අභව්‍යයයි වගේ දැනුනට එහිද වරදක් නැත .
දේශපාලනයේ ගති ස්වභාවය එයයි.
5000 අල්ලසක් ලෙස වැඩකරන ස්වරූප කීපයක් වෙයි.
මේ ආර්ථික අර්බුදය හමුවේ මෙය ඔවුන් තුළ පොසිටිව් ෆීලින්” එකක් ඇති නොකරයි.
එනමුත් නෙගටිව් ෆීලින් එකක් ඇති කරයි.
කෙසේද යත් ………
1. බයියන් ජවිපාවුන් හෝ සජබයන් වීම අඩාල කරයි.
ඒ වෙනුවට “නිවුට්‍ට්‍රල්” කරයි.
2. චන්දයකදි චන්ද පොලට ගොස් වෙනත් පක්ෂයකට චන්දය පාවිචි කරනවා වෙනුවට නොදා සිටීමට උත්තේජනය කරයි.
එබැවින් ලඟකදි චන්දයක් පැවැත්වුවහොත් එය 88 න් පසු අඩුම ප්‍රතිශතයක් චන්දය දුන් මැතිවරණය වනු ඇත.
3. ආන්ඩුවට එරෙහිව විරෝධතා සහ උද්ඝෝෂණ වලට සහභාගි වීමට පැකිලීමකින් ඇති කරයි.
ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් නොදන්නා මොළ හාතානෝගේ දේශපාලන උපක්‍රමය එය විය හැකිය.
කවුරු වුනත් බලයට පැමිණිමට පෙර රට ගොඩනැගීමේ උදාර පරමාර්ථයෙන් යුක්තය.
වැඩේ, පරමාර්ථ පමණක් තිබ්බට මදිය.
පරමාර්ථ සපල කර ගැනීමට සපෝට් කරන මතවාදයකුත් අවශ්‍යය.
රටක් ගොඩනැගීමට හොරා නොකෑම සහ හොරා කෑමට ඉඩනොදීම “අවශ්‍යය.
නමුත් විෂන් එකක්, මතවාදයක්, ඒ මත ගොඩනගපු වැඩපිළිවෙළක් “අත්‍යාවශ්‍යය.
ශ්‍රී ලංකාවට නැත්තේද ඒකමය
– වෛද්‍ය නිලංග සමරසිංහ විසිනි.