ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නීතිපතිට හා පොලීසියට නාස් ලනු දමා ගොන් දෙන්නෙක් කොට, නීතිය නැමැති කරත්තයට නැඟී තමන්ට රුචි පාරවල් දිගේ වියරුවෙන් දක්කමින් සිටියි.

මාධ්‍ය නිවේදනය……..සහෝදර නිලධාරිවරුනි…………….!!

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නීතිපතිට හා පොලීසියට නාස් ලනු දමා ගොන් දෙන්නෙක් කොට, නීතිය නැමැති කරත්තයට නැඟී  තමන්ට රුචි පාරවල් දිගේ වියරුවෙන් දක්කමින් සිටියදී   ශ්‍රී ලංකා පොලීසියට යාන්තමින් තම පණ කෙන්ද රැකගන්නට හැකිවුයේ යකඩ ගැහැනියක වු ලංකා ජයරත්න නම් කොලඹ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමිය ට පින් සිදු වන්නටය.

තම ආයතන ප්‍රධානියා කිසිදු  සාක්ෂියක් නොමැතිව, කිසිදු ප්‍රකාශයක්ද සටහන් නොකරගෙන, මිනීමැරුම් චෝදනා එල්ල කොට, අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන්නට තරම් වැඩබලන පොලිස්පතිවරයාත්, මෙතෙක් කලක් තම කීර්ති නාමය රැගෙන කටයුතු කල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාත් කටයුතු කොට ඇත්තේ  කසේරුකාවක් නොමැති නිවට නියාළු අන්ධයන් ලෙසය.

දේශපාලන බලඅධිකාරිය විසින් ශ්‍රී ලංකා පොලීසිය සම්පූර්ණයෙන්ම යටපත් කරගෙන සිටීම පිළිබඳව  මීට වඩා වෙනත් සාක්ෂි කුමටද ?

අප ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනයෙන් මුදාගැනීමේ අන්තර්ජාතික  සංවිධානය (IODPP ) ආරම්භ කරනු ලබන්නේ 2014 වර්ෂයේ දී ය.

එදා පටන් මේ දක්වා අප දිගින් දිගටම අවධාරණයෙන් පෙන්වා දෙනු ලැබුවේ දේශපාලන බලඅධිකාරිය විසින් කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකා පොලීසිය ගොදුරු කරගෙන විනාශයට පත්කරන ආකාරයත් එයින් අප රටට අත්වන භයානක විපත්තියත් ගැනය.

පුජිත් ජයසුන්දර පිළිබඳව අපටත් කොතෙකුත්  විවේචන ඇතත්,  මේ අවස්ථාවේ ඒ හැමටම වඩා අපට වැදගත් වන්නේ ඒ අභිමානවත් පොලිස්පති තනතුරයි. එය රැකගැනීමේ වගකීම ඒ ධූරය දරන්නාට සේම, අනෙකුත් සියලුම පොලිස් නිලදරුවන්ටත් තිබේ.

ඒ වගකීම ඉටුනොකර එම තනතුර පාවාදෙන්නන් සියල්ලෝම දෝහීන් ලෙස ඉතිහාසයට එක්වීම කෙසේවත් වැලැක්විය නොහැක.

  එක දේශපාලුවෙක් හා   එම දේශපාලකයාගේ ඕනෑ එපාකම් හා මනදොල සපුරමින් තම ඊළඟ තනතුරට අවශ්‍ය වටපිටාව සකසා ගනිමින් සිටින අවිනීතිපතියෙකු ඉදිරියේ නිවට නියාළුවන් ලෙස දණ නමාගෙන රූකඩයන් මෙන් කටයුතු කරන වැඩබලන පොලිස්පතිවරයාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාත් අසුපන්දහසක් පමණ වන පොලිස් නිලදරුවන් සියල්ලන්ගේම අභිමානය ඉතාමත් නිර්ලජ්ජිත ලෙස  පාවාදී ඇත.

ශ්‍රී ලංකා පොලිසියේ  නිලධාරීන් සියල්ලෝම මේ  වැඩබලන පොලිස්පතිවරයාගේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ හැසිරීම ඉතා පිළිකුලෙන් යුතුව හෙලාදකිමින්, ඉතාමත් කලකිරීමට පත්ව සිටී.

ඔවුන්ට අද තම රාජකාරිය පවා ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ප්‍රකාශ කරයි.  වැරදි කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී   තම ආයතන ප්‍රධානියා වු  පොලිස්පතිවරයා දේශපාලකයාගේ කියුම් බහට, ඕනෑකමට කිසිදු සාක්ෂියක් නොමැතිව, මිනීමැරුම් චෝදනා එල්ල කොට  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම පෙන්වා දෙමින් තම රාජකාරිය ඉටුකරගැනීමට නොහැකි අයුරින් තමන්ව අසරණ තත්ත්වයට පත්කරන බවද ඔවුන් වැඩිදුරටත්  පෙන්වා දෙති.

තම ආයතන ප්‍රධානියා වු පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගත් ආකාරය පිළිබඳව රටේ සාමාන්‍ය ජනතාව තුෂ්නිම්භූතව බලා සිටින්නේ හෙට දිනයේ තමන්ට මේ පොලිස් නිලධාරීන් කෙසේ යුක්තිය ඉටුකරාවිද යන දැවැන්ත ප්‍රශ්නාර්ථයකින් යුතුවය.

රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධානතම ආයතනය මෙලෙස දැවැන්ත කඩාවැටීමකට ලක්කරමින් තම බලය අයුතු ලෙස පාවිච්චි කරන දේශපාලකයිනුත්, ඔවුන්ගේ නීතිවිරෝධී නියෝග ක්‍රියාත්මක කරමින්, ඉතාමත් ආත්මාර්ථකාමීව හුදෙක් තම සුබ සිද්ධිය ආත්ම ප්‍රතිලාභය සපයා ගන්නා නිලධාරිනුත් අනාගත පරපුරට අවිනීතිය රජකරන ගෝත්‍රක රටක් බිහිකරමින් සිටී. මෙයට එරෙහි වීමට පොලිස් නිලධාරීන් මෙන්ම රටේ පුරවැසියනුත් එකාමෙන් එක්විය යුතු යැයි අප පෙන්වා දෙන්නෙමු. 

පොලිසිය පාලකයා ගේ පාපිස්නාවක් කලේ මහින්ද බාලසුරියලා ,වික්ටර් පෙරේරලා බව කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවන්නේ ඒ සියල්ලම ප්‍රසිද්ද රහස් නිසාය. ඒත් ඊට සමානව පුජිත ජයසුන්දර පොලිස්පති වරයා පිලිබදව කොපමණ විවේචන තිබුණ ද බාලසුරිය ගනයේ පොලිසිය පාවාදී මෛත්‍රි ගේ තානාපති කැරට් අලයට ගිජු නොවීම නිසාම අපිද ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ක්‍රියාකලෙමු.

දැන්වත් සමස්ථ පොලිස්නිලධාරින් ලෙස එකට එක්ව ඔබලාට දෙන කුමන නියෝගයක් උවත් ඒ නියෝගය නිතිවිරෝධිනම් තරාතිරම නොබලා ඒ නියෝගය ඉටුනොකරසිටීමට පෙල ගැසෙමු.

එවිට තවත් දවසක ඔබලාට කිසිම නිතිවිරොධි නියෝගයක් කිසිවෙකුත්  නොදෙනු ඇත.

ස්තුතියි,

කැදවුම්කරු, 
IODPP  සංවිධානය
බ්‍රිතාන්‍යය

10.07.2019.

 

 

 

 

 

 

 

 

 

 

 

This post is also available in: English (ඉංග්‍රිසි)

Be the first to comment on "ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා නීතිපතිට හා පොලීසියට නාස් ලනු දමා ගොන් දෙන්නෙක් කොට, නීතිය නැමැති කරත්තයට නැඟී තමන්ට රුචි පාරවල් දිගේ වියරුවෙන් දක්කමින් සිටියි."

Leave a comment

Your email address will not be published.


*